ටෙලිකොම් විකිණීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ…! රජය ව්‍යාපාර කරන්නෙත් නෑ…!

June 10, 2023 at 6:02 am | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

එම වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද අවධානය යොමු කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවීමේ බරපතල ඌනතාවක් පෙන්නුම් කරන බව රජයේ අදහසයි.

විශේෂයෙන් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වන විටත් නියාමනය වන ආකාරය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය දත්ත, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, එය ඉටුකර ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්‍රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් අවශ්‍යය.

එසේම, රජය ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතුය.

එහෙයින් මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවද රජය දන්වා සිටී.

රජය ව්‍යපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *