ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට බෑ…! ඒ සඳහා වර්තමාන ආණ්ඩුව ඉඩ දෙන්නෙත් නෑ…! – විදේශ ඇමැති….

March 25, 2021 at 6:47 pm | by emanisa.lk

මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන ස්ථාවර බවත්, ආර්ථික ස්ථාවර බවත් පවත්වා ගනිමින් රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්වල ප්‍රගතිය ආරක්ෂා කිරීම සඳහා කැපවීමෙන් යුතුව රජය කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කළේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි.

මෙහිදී අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ, මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිෂෙල් බැච්ලේ ශ්‍රී ලංකාවට ‍එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව කොටස් 02ට බෙදිය හැකි බවයි. කොටි සංවිධානය සමග පැවැති ගැටුමේදී ඔවුන් පරාජය වූ සමයේ නැති වූවේ යැයි කියන ජීවිත පිළිබඳ විභාග කිරීම සඳහා ඇති පැමිණිලි සහ පසුගිය රජය විශිෂ්ට ලෙස පරාජයට පත් කර රටේ ආරක්ෂාව සහ සෛවරීත්වය රැක දීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සම්බන්ධ විවේචන ලෙසයි.

රටක අභ්‍යන්තරය පිළිබඳව මානව හිමිකම් කොමිසමකට අදහස් දැක් විය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය අස්ථාවර කිරීම උදෙසා විරුද්ධ පක්ෂයේ යම් යම් උදවිය ඉදිරිපත් කළ කරුණු මෙම මානව හිමිකම් කොමිෂන් වාර්තාවේ පිටුවල සඳහන් වන බවත් කෙතරම් ඒකාබද්ධ ලෙස මෙම කටයුතු කර ඇත්දැයි මෙමගින් පැහැදිළි වන බව ද කීය.

රටේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට රජය ගත් පියවර පිළිබඳව නොදැන ඒ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය වාර්තා කර ඇතැයිද ලොව කොවිඩ් වසංගතය කළමනාකරණය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ඇති බවත් එහෙත් මේ පිළිබඳව හෝ නොතකා එක්සත් ජාතින්ගේ මහලේකම්වරිය චෝදනා කරන බවද කීය.

පසුගිය රජය පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීමට පනතක් ගෙනා බවත් මෙමගින් ඡන්දය පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවන බව එදා විපක්ෂයේ සිටිමින් පැවසුව ද එම යහපාලන රජය පළාත් සභා ඡන්ද ක්‍රමය සංශෝධනය කළ බවද කීය. හිටපු ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති මතභේද හේතුවෙන් රට තව තවත් අවුල් ජාලාවකට පත් වූ බවත් සඳහන් කළේය. ඒ අනුව මෙම පළාත් සභා ඡන්ද ක්‍රමය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ඇති බවත් මෙය නිවැරදි කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැහැදිළි ජනවරමක් ලැබුණු බවත් පැවසූ විදේශ අමාත්‍යවරයා ඒ අනුව රජය කටයුතු කරන බව කීය.

රට රටවල් සමග මතභේද තිබුණ ද, විදේශ අමාත්‍යංශය පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය මනා දේශපාලන සබඳතාවක් පවත්වා ගනිමින් එම රටවල් සමග කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස