මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ මෙගා වොට් 50ක සුළං විදුලි බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතත් ඊට දේශීය ආයෝජකයන්ට ප්‍රවේශ වීමේ අවස්ථා ක්රමෝපයික ලෙස අවහිර කර ඇතැයි වාර්තා වෙයි.
වත්මන් රජය යටතේ බලශක්ති අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය විසින් මෙම ටෙන්ඩරය කැඳවා තිබූ අතර මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉඩම් දෙකක බිම් කට්ටි 10 බැගින් මේ සඳහා වෙන්කර ඇත.
මෙම බලාගාර දෙක ඉදිරිකිරීම සඳහා දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන්ගෙන් ටෙන්ඩර් කැඳවා තිබේ.
එසේ වුවද මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජකයන්ට අවස්ථාව ලබා දුන්නද ඉදිකිරීම් කටයුතු දේශීය සමාගමකට කළ නොහැකි වන ආකාරයේ කොන්දේසි ටෙන්ඩර් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒම ආරංචි මාර්ගවලට අනුව මෙම ටෙන්ඩර් යොමු කරන ආයෝජකයන් මීට පෙර 50MWක සුළං විදුලි බලාගාර දෙකක් සැලසුම් කර තිබිය යුතු සමාගමක් විය යුතු අතර මෙම බලාගාර ඉදිකරන ඉන්ජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් (EPC) සමාගම් මීට පෙර ඉදිකර ඇති බලාගාර දෙකින් ඒකක් වෙනත් රටක ඉදිකර තිබිය යුතු ය.
මෙම ආරංචි මාර්ග සඳහන් කරන්නේ දේශීය මෙවැනි බලාගාරයක් ඉදිකිරීම සඳහා සුදුසුකම් ඇති ආයෝජකයන් සිටිය ද මෙවැනි කොන්දේසි පැනවීමේ අරමුණ සූක්ෂම ලෙස ඒම ආයෝජකයන් කපා හැරීමට දැන දැන ම මෙම කටයුතු සිදුකර ඇති බවයි.
කාලාන්තරයක සිට මෙරට විදුලිබල ක්ෂේත්රයේ සාර්ථකව ආයෝජනය කරන දේශීය ආයෝජකයන් සහ විදුලි බලාගාර ඉදිකිරීම් සමාගම් රැසක් සිටිය ද මෙම කොන්දේසි නිසා ඔවුන්ට අවස්ථාව අහිමි වී ඇතැයි ඒම ආරංචි මාර්ග සඳහන් කරයි.