ජම්බො ඇමැති මණ්ඩලේ උතුම් අරගල පරමාර්ථ උල්ලංඝනයක්….! සජබ ඒකමතිකව විරුද්ධයි…!

September 9, 2022 at 9:03 am | by emanisa.lk

අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කරනු ලැබීය.

රට විශාල ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක අති විශාල ඇමති මණ්ඩල පත් කරමින් ජනතා මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් එහි දී දැඩි විවේචනයට ලක්ව තිබේ.

අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක, ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙසත්, සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය ඇමතිවරු 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත් කිරීම කිසි ලෙසකින්වත් සිදුනොවිය යුත්තක් බව සමගි ජන බලවේගයේ අදහස වී ඇත.

මේ අතිවිශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තව දුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බව එහිදී මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සඳහන් කරනු ලැබීය.

මෙම නාස්තිකාර තත්ත්වය පිළිබදව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

ඒ අනුව, මේ අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය ඊයේ (08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *