ජනාධිපතිවරණයට මාස තුනකට ආසන්න කාලයක් ඉදිරියට තිබියදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමේ දින නිකුත් කිරීම පළාත් පාලන මැතිවරණයට කළ ආකාරයේ ම මැතිවරණය කල් දැමීමේ සැලසුමක කොටසක් බවට දැඩි සැකයක් මතු වී තිබේ.
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කැඳවුවහොත් ඊට කිසිවෙකුට විරුද්ධ වීමට ද නොහැකි වීම මේ මොහොතේ බරපතළ කාරණාවක් බව ඉස්මතු වී ඇත.
මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා කැඳවන්නේ මාසයක් මාස එකහමාරක් පමණ තිබියදී නමුත් මෙපමණ කාලයක් තබා ජනාධිපතිවරණය ප්රකාශයට පත්කිරීම මේ මොහොතේ මැතිවරණ කොමිසමේ රාජකාරිය නොවන බව බොහෝ පාර්ශ්වල මතය වී තිබේ.
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා පනතට අනුව ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාලයක් තුළ ජනාධිපතිවරණය ප්රකාශයට පත්කළ යුතු වේ.
විශේෂයෙන් ම පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත්කළේ ද මෙවැනි ම දිගු කාලයක් ඉදිරියට තබා වන බැවින් ජනාධිපතිවරණයට ද එය ම සිදුකිරීමට යාමේ දැඩි ප්රවණතාවක් තිබෙන බැව් එම මන්ත්රීවරුන් සාකච්ඡාකොට තිබේ.
පාර්ලිමේන්තුව ලබන සතියේ 13, 14 හදිසියේ ම කැඳවන අතර ලබන මැයි 15ට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බවට වන රාවයක් මේ හා සම්බන්ධව ගැටගැසී ඇති කාරණයක් බවට ද ඔවුන් සැක පහළ කර තිබේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරි ජනාධිපතිවරණය නිසා රට නැවත ආර්ථික අර්බුදය පතුළට ඇද වැටීමේ අවධානමක් ඇතැයි අනතුරු ඇඟවූයේය. ඒ අනුව 2024 සඳහා අයවැය ලේඛනයෙන් ජනාධිපතිවරණය සඳහා ප්රතිපාදන වෙන් කළ ද භාණ්ඩාගාර සංචිත ප්රමාණවත් නොවීමෙන් ජනාධිපතිවරණයකට යා නොහැකි අවදානමක් පවතින බවට ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් යම් තර්කයක් මතු කරනු ඇති බවට දේශපාලන පක්ෂ විපක්ෂවල මතය වී තිබේ.