ජනාධිපතිවරයා අයවැය කතාව මඟින් පාලකයින්ට දිව්‍ය ලෝකය පෙන්වා ජනතාවට අපාය පෙන්නු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපාය ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ ගැන කතා කිරිමට පෙර 2022 අයවැය යෝජනාවේ අන්තර්ගත කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරිමට හැකිවූවාද යන්න සිතා බැලිය යුතු බවත් එම අයවැය යෝජනාවේ ඇති විශාල කරුණු ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අයවැය ඉදිරිපත් කිරීම බුදු දහම පදනම් කර ගෙන ආරම්භ කිරීම තුළින් බුදු දහමටද නිග්‍රහයක් සිදු කළ බවයි, හෙතෙම කියා සිටියේ.
බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ පිදිය යුත්තන් පිදිය යුතු වුවත් වත්මන් ජනාධිපතිවරයා විසින් පිදිය යුත්තන් පුදන්නේ නැතිව ක්‍රියාවෙන් බාල කොට්ඨාසයකගේ ජනවරමක් ලබා ගත් බවත් අයි. එම්. එෆ්. එකත් සමඟ ගහපු ගිවිසුමේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි අයි. එම්. එෆ්. වාරිකයත් ලබා ගත නොහැකි තත්ත්වයත් මත ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් මෙය රටේ ජනතාව රැවැට්ටවීමට ගත් උත්සාහයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජීවන වියදම් යෝජනාව 7000 සිට 17000 දක්වා වැඩි කිරීම අයවැය යෝජනාවේ පැවැතියත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7500 – 10000 දක්වා බවත් ඊට අමතරව අයවැය කතාවේ සමහර අංශ මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර මාධ්‍යයට ලබා දී ඇති බවත් ඒ තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය පවා අභියෝගයට ලක් කර ඇති බවත් විපක්ෂ නායකයා ප්‍රකාශ කළේය.