ජනපති දෙමළ සන්ධාන සාකච්ඡාව මර උගුලක්…! යුද විරුවා ලවා රට දෙකඩ කරන්න බෙදුම්වාදීන් සූදානම්…! – ජානිපෙ…

March 28, 2022 at 10:50 am | by emanisa.lk

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිත කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උගුලක් අටවමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

“යුද විරුවා” “පාවා දෙන්නකු” බවට පත්කර ගැනීමේ අභිලාෂයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් “එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්” සෞභාග්‍ය කරා රැගෙන යාමේ යෝජනා පහක් ඉදිරිපත් කර ඇති බවත් ඒ එක්සත් රට දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් පිළිබඳව බවත් ජයන්ත සමරවීර අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ශ්‍රී ලංකාවක් යන්න ප්‍රතික්ෂේප කර නොමැති අතර ජනාධිපති මාධ්‍ය අංශය ද ඒ සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් යන වචන ඒ ආකාරයෙන්ම යොදා ඇති බව සඳහන් කළ ජයන්ත සමරවීර, එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් පිළිබඳව පූර්ව එකඟතාවක් සහිතව මෙම සාකච්ඡාව සිදුකළා ද යන සැකය මතුවීම වැළැක්විය නොහැකි බව ද කීය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්මින් හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස