ජනපති ඓතිහාසික කූරගල පුදබිමේ චාරිකාවක…! ජාතික වෙසක් උලෙළට පුදබිම ගොඩනංවන්න උපදෙස්..!

January 17, 2022 at 10:02 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත වෙමින් ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම මහ රහතුන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සමන්විත ඓතිහාසික බෞද්ධ උරුමයකි.

පසුගිය සමයේ එම පුදබිම අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව පැවැති අතර එහි පුරාවිද්‍යාත්මක සහ බෞද්ධ උරුමය විනාශ කරමින් විවිධ ඉදිකිරීම් ද සිදුකර තිබිණි. වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ ද කූරගල පුදබිමට පැමිණ එහි අනවසර ඉදිකිරීම් ඉවත් කොට ඓතිහාසික උරුමය සුරක්ෂික කළ යුතු බව අවධාරණය කළේ ය.

ඊයේ (16) පස්වරුවේ කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීය. පුදබිමට පිවිසෙන මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුදබිමට පැමිණ සිටි ජනතාව සමඟ කතා බහ කළ ජනාධිපතිතුමා අවට භූමිය ද නිරීක්ෂණය කළේය.

2022 ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ද කූරගල පුදබිමෙහි බව පසුගියදා අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *