කුරගල සුරකින සටන ඇමැති විදුර අතට ගනී…! විදුලිය ජලය ලබා දී චෛත්‍ය, සංඝාවාස ගොඩනඟන්න සැලසුම්…! ආරක්ෂාවට යුද හමුදා කණ්ඩයක්….!

March 3, 2021 at 3:23 pm | by emanisa.lk

ඓතිහාසික කූරගල පුරාවිද්‍යාත්මක බෞද්ධ පුදබිමෙහි ප්‍රතිසංස්කරණයට නියමිත චෛත්‍ය සහ ඒ ආශ්‍රිත ඉදි කිරීම් පිළිබඳව සැලසුම් කර ඇති යෝජනා මාලාවන් සහ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (02) බලන්ගොඩ කූරගල පුදබිමෙහි පැවැත්විණි.

හම්බෙගමුව මුතුරාජ මහ විහාරාධිපති ශ්‍රී පාදස්ථානයේ හිටපු කෘත්‍යාධිකාරී සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කෝප්පකන්දේ සුමනතිස්ස නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඓතිහාසික කූරගල පුදබිම භාරකාර වතුරකුඹුරේ ධම්මරතන නා හිමියන්ගේ මෙහෙයවීමෙන් වැඩ සටහන ආරම්භ කෙරිණි.

ඓතිහාසික කූරගල භූමියෙහි ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත චෛත්‍යයේ සැලසුම අනුමත කර ගැනීම, සංඝාවාසයක් ඉදිකිරීම සඳහා භූමියක් ලබා ගැනීම සහ එය අනුමත කර ගැනීම, විදුලි ආලෝක පද්ධතියක් ලබා ගැනීම සහ එය අනුමත කර ගැනීම, මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගැනීම, යුධ හමුදා නිලධාරීන් සඳහා තවකාලික නවතැන්පොළක් සකසා ගැනීමට අවසර ලබා ගැනීම, ජල නල පද්ධතිය අනුමත කර ගැනීම, වැසිකිළි පද්ධතිය සඳහා භූමියක් වෙන්කර ගැනීම වැනි ගැටලු පිළිබඳව පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නා හිමියෝ විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ට සහ පුරාවිද්‍යා නිලධාරීන්ට මෙහි දී පෙන්වා දුන්හ.

එම ගැටලු පිළිබඳව අධ්‍යනය කර පවතින නීති රීතීන්ට සහ පුරාවිද්‍යා පනතට අනුකූලව ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් අනුර මනතුංග මහතා එහිදී පැහැදිලි කිරීමක්ද සිදු කළේ ය.
ජාතික උරුම,ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක එහි දී මෙසේ ප්‍රකාශ කළේ ය.

“අපේ රටේ උරුමයන් අනාගත පරපුර වෙත ආරක්ෂා කර දීමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. කුමන බාධක පැමිණියත් ඒ ගැන දෙවරක් නොසිතා කටයුතු සිදු කිරීමට අප බැඳී සිටිනවා. අද වන විට පෞරාණික පුදබිම් සහිත භූමින් විවිධ පාර්ශවයන් විසින් ආක්‍රමණය කර තිබෙනවා. ඒවා බෞද්ධ, හින්දු, ඉස්ලාම් හෝ කිතුණු යන කුමන ආගමික පසුබිමක වූවත් ඒ සියලු දේම අපේ රටේ උරුමයන් බව පැහැදිලිව කිව යුතුයි. ඒවා විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ.

වර්තමානයේ තිබෙන පුරාවිද්‍යා පනත ඉතා බලවත්. එහෙත් කෙටුම්පත් කරන නව පනත ඊට වඩා බලවත් කිරීමට අවශ්‍ය නීතින් ගෙන ඒමට අප සුදානම්. කූරගල ඓතිහාසික භූමිය ප්‍රතිසංස්කරණය කිරීමේදී පවතින නීතීන්වලට අනුව වියයුතු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කළ යුතුයි.”

හම්බෙගමුව මුතුරාජ මහ විහාරාධිපති ශ්‍රී පාදස්ථානයේ හිටපු කෘත්‍යාධිකාරී සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කෝප්පකන්දේ සුමනතිස්ස, බලංගොඩ දෙල්ගහතැන්න ශ්‍රී දේවප්‍රියාරාමය, වැලිපත ලංකා පබ්බත රාජමහාවිහාරද්වායාධිපති ගැටඅරළුවේ සංඝරක්ඛිත, බලංගොඩ කූරගල විහාරාධිපති පිලවල ගල් ඒදණ්ඩ පුරාණ විහාරය, ගලහා භද්‍රිවතී ගිලන් භික්ෂූ මධ්‍යස්ථානාධිපති දෙල්තොට ධම්මජෝති, පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නා හිමවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, සබරගමු පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, රත්නපුර මහා දිසාපති මාලනීලොකුපෝතාගම, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර, යුධ හමුදාව නියෝජනය කරමින් ලුතිනන් කර්නල් පුංචිහේවා සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස