ජනතාවට ගෙවල් 15 000ක් හදා දුන් මහත්තයාගේ දේහය තියන්න තැනක් නැති වුණා..! – නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා….

January 30, 2024 at 11:55 am | by emanisa.lk

දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති වූවද තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව සහ පක්ෂ ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

අධිවේගයේ පසුගිය දා සිදුවු රිය අනතුරෙන් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇය මේ බව සඳහන් කර තිබේ.

“මගේ මහත්මයා පුත්තලම් දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාක්වත් හිස් අතින් ඇරියේ නෑ. එයාට වූ විපත මටත් දරුවන්ටත් අදහාගන්න බෑ. හරියට හීනයක් දැක්කා වගේ. මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.

මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මට දැන් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා මගේ දරුවන් සිව්දෙනාගේ අනාගතය පිළිබඳව.

මට හොඳ රැකියාවක් තියෙනවා, හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම තනිවෙලා නෑ කියන හැඟීමෙන් ඉදිරි කටයුතුවලට මුහුණදෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නෑ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලඥයෙක්. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු කෙනෙක්. මගේ මහත්තයා වටේ විශාල පිරිසක් හිටියා. ඒ තමයි එයාගේ ශක්තිය. පුත්තලම් දිස්ත්‍රික්කයේ අති විශාල පිරිසක් සඳහා මගේ මහත්තයා ඉඩම් දුන්නා, ගෙවල් හදලා දුන්නා. ඉන්න තැනක් නැති අයට ගෙවල් 10,000ක් – 15,000ක් හදලා දුන්නු මගේ මහත්තයාගේ දේහය තියන්න තැනක් නැතිවුණා. අන්තිමේදී තාවකාලිකව ඉදිකරපු තැනක තමයි අවසන් කටයුතු පවා කරන්න වුණේ.

මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා. අද මේ සිද්ධියෙන් මම වගේම පොලිස් සැරයන් අනුරාධගේ බිරිඳ ලක්සිකා ප්‍රසාදිනි මහත්මියත් දැඩි වේදනාවකට, කම්පනයකට පත්වෙලා ඉන්නවා. මම එතුමියගේ වගේම සැරයන් ජයකොඩිගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයකට සහයෝගය දෙනවා. එයාලට තනිවෙන්න දෙන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *