ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි! පළමු ප්‍රතිඵලය හවස 2.30ට පසු!

August 6, 2020 at 8:49 am | by emanisa.lk

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77ක දී අද (06) උදේ 7ට ආරම්භ විය.

මැතිවරණ දිස්ත්‍රික් 22කට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේ කටයුතු ඊයේ (05) පස්වරු 05.00ට අවසන් වුණි.

මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සියයට 71ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය. පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද පස්වරු 02.30ත් 03.30ත් අතර කාලය තුළ ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මේ අතර දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරිවරුන් සඳහන් කළේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ අධීක්ෂණය යටතේ සියලු ඡන්ද පෙට්ටි විවෘත කිරීම සිදු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස