චීනයෙන් ගෙනා කාබනික පොහොර සාම්පලවල රෝගකාරක බැක්ටීරියා…! පොහොර තොග ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරයි…!

September 18, 2021 at 9:17 am | by emanisa.lk

ඉදිරි මහ කන්නයේ වී වගාවට යෙදීම සඳහා චීනයෙන් මෙරට ගෙන්වන ලද කාබනික පොහොර සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායෙහි රෝග කාරක සහ බැක්ටීරියා අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

මෙම කාබනික පොහොර සාම්පල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය පරීක්ෂාවට ලක්කර ඇති අතර, ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි විසින් මෙම කාබනික පොහොර සම්බන්ධ වාර්තාවට අත්සන යොදා ඇත.

සියයට සියයක්ම විෂබීජහරණය කරන ලද පොහොර ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර, චීනයෙන් මෙලෙස ආනයනය කිරීමට සූදානම් කර ඇත්තේ වී වගාව සඳහා අවශ්‍ය නයිට්‍රජන් නිස්සාරණය. මෙම පොහොර සාම්පල විදේශීය සමාගමක් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට භාර දී ඇති අතර, එම සාම්පල පරීක්ෂාවට ලක්කර ඇත්තේ ජාතික ශාක නිරෝධායන සේවය විසිනි.

නයිට්‍රජන් සියයට 10 ප්‍රතිශතය සහිත පොහොර මෙට්‍රික් ටොන් 96,000 ක්ද, නයිට්‍රජන් සියයට 15 ප්‍රතිශතය සහිත පොහොර මෙට්‍රික් ටොන් 3000 ක්ද, පොටෑසියම් මෙට්‍රික් ටොන් 27,000 ක්ද ආනයනය කිරීමට නියමිතය. චීනයේ පොහොර සාම්පලවල ගැටලු තත්ත්වය නිසා එහි තවත් සාම්පල කීපයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ පරමාණුක බලශක්ති අධිකාරියට ද යවා ඇත. නමුත්, එම සාම්පල සම්බන්ධ වාර්තා ද අසමත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

පරීක්ෂණාගාර වාර්තාවලින් අසමත් වූ පොහොර සාම්පලවල කොටසක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ සිටුවා තිබෙන ශාකවලට යොදා ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියයි. චීනයේ අයි.එස්.ඕ. ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ පරීක්ෂණාගාරයකින් මෙම සාම්පල නැවත පරීක්ෂා කර, නැවත වාර්තාවක් ලබාගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීමේ සූදානමක් පවතින බවද පැවසේ.

මේ සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ විදේශයේ නිෂ්පාදිත එකම සමාගමක පොහොර සාම්පල් දෙකක් රසායනාගාරයක පරීක්ෂා කිරීමේ දී ප්‍රතිඵල දෙකක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැකය නිසා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවය.

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයන්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව ද ඇමැතිවරයා පැවසුවේය. වී ගොවිතැන් කරන ගොවීන්ට හෙක්ටයාරයකට කාබනික නයිට්‍රජන් පොහොර කිලෝ 500 ක් හා කාබනික පොටෑසියම් පොහොර කිලෝ 45ක් නොමිලේ ලබාදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස