ගෝඨා පළවා හැරි ජනතාව රනිල් එළවන්න එනවා..! ඒ ජනතාවට නායකත්වය දෙන්න අපි සූදානම්…! – ටිල්වින්…

August 20, 2022 at 9:59 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා ජනතාව දැනට නිහඬව සිටියත් කිසියම් මොහොතක නැවත නැඟී සිටින බවත් ඒ ජනතා නැගිටීමට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“ජනතාව දස දහස් ගණන් පාරට බැහැලා කීවේ මේ පාලනය එපා කියලා. ජනතාව විසින් ජනාධිපතිවරයා පළවා හැරියත් ව්‍යවස්ථාව පාවිච්චි කර ගනිමින් ආණ්ඩුව බලයේ ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ මේ ආණ්ඩුවේ කණ්ඩායම තවදුරටත් රට පාලනය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ.

මේ ආණ්ඩුවෙන් අයිතිවාසිකම් ඉල්ලලා කිසිම තේරුමක් නැහැ. සහන ඉල්ලන ජනතාවට මර්දනයෙන් උත්තර දෙන දුෂ්ට පාලනය පළවා හැරිය යුතුයි. ඔවුන් ඉල්ලා අස්වී ජනතාවට කැමති පාලනයක් පිහිටුවා ගන්න මැතිවරණයක් වෙනුවෙන් හඬ නගන්න සිදුවී තිබෙනවා. ජනාධිපති පලවා හැරිය උද්ඝෝෂණවලින් පසුව කිසියම් නිහැඬියාවක් දැන් තිබෙනවා. කිසියම් මොහොතක ජනතාව නැවත නැගී සිටිනවා. ජනතාව පීඩා විඳින සියලු ප්‍රශ්න එසේම තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිට මේ පාලනය ඉවත් කරන්න අයිතියක් ජනතාවට තිබෙනවා. එය හරියටම ඉලක්ක ගතව කරන්න ඕනෑ.

ඒ සටනට නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් සූදානම්. ජනතාව පීඩාවට පත්කරන, මර්දනය කරන පාර්ලිමේන්තුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක ආරම්භය 20වැනිදා උද්ඝෝෂණ පෙළපාළියකින් සහ විරෝධතා රැලියකින් ලබා ගන්නවා.

ආණ්ඩුවට ජනතාවගේ ශක්තිය පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස බල කරන්න ඕනෑ. තමන්ගේ පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව ඕනෑ. අරගලයේ ජන බලය පෙන්වන පා ගමන සහ රැලිය සාර්ථක කරගන්න අරගලයට පණ පොවමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මර්දනකාරිත්වය නැවැත්වීමටත් අත්අඩංගුවට ගෙන සිටින හැම දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස අපි බලකර සිටිනවා.”

ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *