ගෝඨා ත්‍රස්තවාදය වැළැක්වීමට ගෙනා නීති ව්‍යවස්ථාවට පටහැනියි…! – ශ්‍රේෂ්ඨාධිකරණය…

November 15, 2023 at 10:37 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පාලන කාලයේ දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

2021 මාර්තු 12දා මෙම රෙගුලාසි සඳහන් අංක 2218/68 දරන ගැසට් නිවේදනය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කෙරුණා. එම ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් 03ක තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 01/2021 නම් මෙම රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 10, 12(1) සහ 13 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවයි.

මෙම රෙගුලාසි ව්‍යවස්ථානුකූල කිරීම සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රයෝගික නොවන බව ද අදාළ තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඊට හේතුව එසේ ඉදිරිපත් කරනු ලබන සංශෝධන මගින් අදාළ රෙගුලාසිවල ආවේනික අඩුපාඩු සියල්ල සකස් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කොට ඇති මූලික අයිතිවාසිකම් සියල්ලට අනුකූල වන ලෙස පෙළගැස්වීමට නොහැකි වීම බවයි කියන්නේ.

මීට අදාළ SC/FR/91/2021 පෙත්සම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් ද, SC/FR/106/2021 පෙත්සම සිතාරා ශ්‍රින් අබ්දුල් සරූර් විසින් ද, SC/FR/107/2021 පෙත්සම අම්බිකා සත්කුනනාදන් විසින් ද ගොනුකර තිබුණා. පෙත්සමේ තීන්දුව ලබාදෙමින් බුවනෙක අලුවිහාරේ, මුර්දු ෆර්නෑන්ඩු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පෙත්සම් ගාස්තු ලෙස රුපියල් 25,000 බැගින් රජයෙන් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මෙම රෙගුලාසිවලට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ආචාර්ය මල්කාන්ති හෙට්ටිආරච්චි සහ අල්හාජ් අබ්දුල් ජවාඩ් අලීම් විසින්.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වූයේ නීතිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ය. 2021 මාර්තු 21 විභාගය අරඹන ලද මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලබාදුන්නේ පසුගිය 13 වෙනිදායි.

මෙම රෙගුලාසි පැනවූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීමට ඉඩ සලසන ශ්‍රී ලංකාවේ නව ‘රැඩිකලීකරණ’ රෙගුලාසි හෙළාදකින බව නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) එම රෙගුලාසි නිකුත් කළ අවස්ථාවේ ම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළා. එම රෙගුලාසි මගින් සුළුතර ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන් වෙනස් කොට සැලකීමට භාජනය වන ආකාරයෙන් ඉලක්ක කළ හැකි බව ද එම සංවිධානය එමගින් පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් තොරව විධායකය විසින් පනවන ලද මෙම රෙගුලාසි මගින් ප්‍රජාවන් අතර ආගමික හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වය, අසමගිය වැනි ක්‍රියාවන් ඇතිකිරීමට හේතුවන වචන හෝ සංඥා භාවිත කළ බවට සැකකරන පුද්ගලයන් නඩු විභාගයකින් තොරව වසර 02ක් දක්වා කාලයක් පුනරුත්ථාපනය කිරීමට ඉඩ ලබාගැනීම අරමුණු කරගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ හි නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් පවසා තිබුණේ “විධායක රෙගුලාසි මගින් නියම කර ඇති මෙම රෙගුලාසි මගින් පුද්ගලයන් නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට ඉඩ සලසයි. එම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය සහතික කිරීම් මෙන්ම ජාත්‍යන්තර නීතිමය බැඳීම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

නව රෙගුලාසි කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට ඉඩ ඇත. එහිදී රැඳවියකුට නීත්‍යානුකූල චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වෙනුවට වසරක් හෝ දෙකක් පුනරුත්ථාපනයේ සිටීම හෝ අවිනිශ්චිත කාලයක් රැඳවුම් බාරයේ සිට නඩු කටයුතුවලට මුහුණ දීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් කිරීමට සිදු වේ” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *