ගැබ් ගත්තැයි ආධුනික වෛද්‍යවරියට වාට්ටු භාර වෛද්‍යවරයා පහර දෙයි! වෛද්‍යවරිය යුක්තිය ඉල්ලා නීතිය හමුවට යයි!

November 1, 2020 at 10:49 pm | by emanisa.lk

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලිපියක් පහත පළ වෙයි.

දරු ගැබ ගබ්සා නොකළ වරදට තමන් යටතේ සේවය කල තරුණ වෛද්‍ය වරියකගේ හිසට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක එම රෝහලේ වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

පුද්ගලයන් බිය වැද්දවීම් සහ පහර දීම් ඇතුළු විවිධ දාමරික ක්‍රියාවන් ගෙන් සපිරි ඉතිහාසයක් හිමි මොහුට එරෙහිව මෙතෙක් කල් බලධාරීන් හට යොමු කර ඇති එකදු පැමිණිල්ලක්වත් නිසි පරිදි විභාග වී නැත.

ඒ මෙම ගැටළුවට මුහුණ දුන් වෛද්‍යවරිය පිළිකා වාට්ටුවට මුලින්ම පත්වී ආ දිනයයි. අලුතින් පැමිණි තරුණ වෛද්‍යවරිය දෙස බැලු වාට්ටුව බාර විශේෂඥ වෛද්‍ය වරයා ඇයට ගර්භණී නොවන ලෙස පැවසුවේ දරුප්‍රසුතිය සඳහා නිවාඩු ලබා දිය නොහැකි බව පවසමිනි.

මෙයට කලින් හමුවී නැතත් “සර්ගේ” කට හඬේ ඇත්තේ හුදෙක් විහිළුවකට එහා ගිය විධානයක් බව ඇයට නොතේරුනා නොවේ. එය තවදුරටත් තහවුරු වුයේ ස්ථිර වශයෙන්ම ගර්භනී වීම වලක්වා ගැනීමට අවශ්‍ය එල් . ආර් .ටී සැත්කමක් කරගන්නා ලෙස පැවසීමත් සමගිනි.

නුහුරු නුපුරුදු වාට්ටුව මැද තමන් තනිවූ බවක් ඇයට වැටහුණි. වටේ සිටි සේවක පිරිස දෙස ඇය බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවෙනි. එහෙත් වාට්ටුව බාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව කිසිවෙකු ඉදිරිපත් වුයේ නැත.

වාට්ටුවට එන විටත් ඇය එක් දරු මවකි. කාලය වේගයෙන් ගතවී ගියේය. අලුත් වාට්ටුවට නව වෛද්‍යවරිය හෙමින් හුරු වුවාය. එක පැටියෙක් පමණක් සිටින කැදැල්ලට තවත් පැටියෙකු අවැසි බව ඇයටද හැඟුනි.

එය සුන්දර දිනයකි. ඒ ඇය දෙවන වරටත් ගැබිනියක් වීම නිසාය. කෙළිලොල් දරුවෙකුගේ මවක්, ගර්භනී මවක් , බිරිඳක් සහ වෛද්‍යවරියක ලෙස භූමිකාවන් රැසක් එකවර නිවැරදිව නිරුපනය පහසු නැත.

එහෙත් කිසි දිනක රැකියා ස්ථානයේ ගැටළු ඇතිකරගෙන නොමැති ඇය මේ සියල්ල එකවර ඉටුකිරීමට අදිටන් කරගත්තාය. ටික දිනක් යනවිට අයගේ මේ අලුත් වෙනස බාහිරයටද ප්‍රකට විය. ගැබිණි මවකට විශේෂයෙන් නොසලකන්නේ කවුද ? වෛද්‍ය පමණක් නොව රෝහලේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ගේ නොමද කරුණාව මත දින, සති බවටත් සති මාස බවටත් පත්විය.

මේ වෛද්‍යවරිය ගැබිනියක වී බව ඇති බව වාට්ටුවේ ප්‍රධාන වෛද්‍ය වරයාගේ ද කන වැකුණි.

වාට්ටුව මැද අනෙකුත් කාර්ය මණ්ඩලය පමණක් නොව රෝගීන්ද ඉදිරියේ ප්‍රධාන වෛද්‍යවරයා දුම්මල වරම ගෙන මේ ගර්භනියට බැන වැදීමට පටන් ගත්තේය. කී දේ බොහෝ වුවත් එවා ශිෂ්ට සමාජයක් ඉදිරියේ ප්‍රතිරාව කිරීම යහපත් කටයුත්තක් නොවේ.

කෙටියෙන්ම කිවහොත් කිසිදු නිවාඩුවක් කිසියම්ම හේතුවක් නිසා ලබා දිය නොහැකි බවත් වහාම පෙත්තක් ඇතුළු කර ඒ අහිංසක දරු ගැබ ගබ්සා කරගන්නා ලෙසත් ඔහු ගිගුරුවේය. මෙය කිසිවෙකු බලාපොරොත්තු වුවක් නොවේ.

ගර්භනියක වූ මේ වෛද්‍යවරිය මෙයින් දැඩිලෙස තැති ගත්තාය. ඇය පියවි ලෝකයට පැමිණියේ ඇයගේ කම්මුල හරහා වේගයෙන් ඇදී ගිය ප්‍රධාන වෛද්‍ය වරයාගේ පහරත් සමගිනි. ඇය අසීරුවෙන් වුවද එතනින් ඉවතට දිව ගියාය.

තම කාන්තා අයිතීන් සම්බන්ධව පොලිසියට පැමිණිලි කර නීතියේ පිළිසරණ සොයනවා හැර ඇය වෙන කුමක් කරන්නද ?

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය වරයාගේ පාර්ශවයෙන් විවිධ හේතු ගෙන හැර දැක්වෙයි. කාන්තා වෛද්‍යවරියකට එල් ආර් ටී සැත්කම කරගන්නා ලෙස බල කිරීමත්, ඇය ගැබිනියක් වූ විට ගබ්සා කල යුතු බවට බල කර පහර දීමත් කෙලෙස නම් සාධාරණිකරණය කරන්නද ? මට කීමට ඇත්තේ මෙපමණකි. ඒ ජාතියට දරුවෙකු දායාද කිරීම වරදක් නම් මා ඒ වරදකාරිය වෙනුවෙන් පෙනි සිටින බවයි !  එතකොට ඔබ ?

Dr Chandika Epitakaduwa

BH- Marawila

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස