ගාලු මුවදොර ප්‍රහාරය තරයේ හෙළා දකිනවා…! – ස්වාධීන මන්ත්‍රී සංසදය…

May 9, 2022 at 3:48 pm | by emanisa.lk

විශේෂ මාධ්‍ය නිවේදනය

ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි සාමකාමී විරෝධතාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරනු ලැබ තිබෙන අමානුෂික ප්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

සාමකාමී විරෝධතා රට තුළ විවිධ අයුරින් මතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු අර්බුදකාරී තත්ත්වයකට ඇදවට්ටවාලීමේ ප්‍රතිඵලයක් ලෙස ය. එමගින් පීඩාවට පත්වූ ජනතාව විවිධ අයුරින් තම විරෝධය හා අප්‍රසාදය පළ කිරීම අපේක්ෂා කළ යුතු තත්වයකි. එබැවින් එවැනි හේතු මත පැන නැගී තිබෙන සාමකාමී ජනතා විරෝධය ප්‍රචණ්ඩත්වය මුදාහැරීමෙන් මැඩ පැවැත්විය හැකි නොවේ.

අද රට අස්ථාවරත්වයට සහ අරාජිකත්වයට ඇදවට්ටවා තිබේ. අප කළ යුත්තේ එම තත්ත්වයෙන් රට මුදාගෙන ස්ථාවර තත්වයකට පත් කිරීම පිණිස ප්‍රබුද්ධව ක්‍රියා කිරීම ය. එසේ ක්‍රියා නොකර සාමකාමී ජනතා විරෝධයන්ට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වීම නොකළ යුතුය. එසේ කිරීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය ගිලගෙන ඇති අරාජකත්වය, ලේ හලන දඩබිමක් නිර්මාණය වීම දක්වා රැගෙන යාම ය. එසේ වීමට කවර අයුරින් හෝ දායක නොවීම අප සැමගේ පාරිශුද්ධ වගකීමකි. අප මන්ත්‍රී කණ්ඩායම ක්‍රියා කරනුයේ එකී වගකීම ඉහළින්ම අවධාරණය කර ගනිමිනි.

කෙසේ වෙතත් මෙම අමානුෂික ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට මූලික වූ සහ ඊට දායක වූ සැමට එරෙහිව බරපතළ ලෙස නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපි සියලු බලධාරීන් වෙතින් ඉල්ලා සිටිමු.

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස