ඛනිජ තෙල් සංස්ථාව දයාසිරිට නඩු පවරයි…!

October 6, 2022 at 5:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සහ සියලු කරුණු අසත්‍ය, පදනම් විරහිත මෙන් ම සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ප්‍රකාශය බවත් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරයේ ප්‍රතික්ෂේක කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

සංස්ථාව ඉන්ධන ආනයනයේදී සැම විට ම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන අතර ප්‍රමිතිය තහවුරු කර අවම මිල ගණන් ඔස්සේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇති බව සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී දයාසිරි ජයසේකරට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බවත් පසුගිය දිනවල සිදු කළ මෙවැනි ම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙරටට පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ආනයනය කිරීමට ඉදිරිපත් නොවූ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. නම් පෞද්ගලික සමාගම වර්තමාන අමාත්‍යවරයා පත් වීමත් සමග මෙරටට තෙල් ගෙන ඒමට කටයුතු කළ බවත් එම සමාගමට මුල්කාලීනව ලියාපදිංචියක් හෝ නොතිබූ බව ත් ශ්‍රී ල.නි.ප. මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබිණි.

ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ටෙන්ඩර් ලබා දී තිබූ සමාගම්වල මෙරට නියෝජිතයන් හා ඔවුන් සමග ගනුදෙනු කරන දේශපාලඥයන් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇතැයි ඔහු චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *