තමිල්නාඩුවේ ජනතාව විසින් දේශීය දෙවියකු ලෙස සලකා මෙතෙක් කලක් වන්දනාමාන කරන ලද තලවෙට්ටි මුනියප්පම් නමැති හින්දු දෙවියා අන් කිසිවකු නොව බුදුන්වහන්සේ බව හෙළිවී තිබේ.
මේ බව අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීම සඳහා මදුරාසියේ ඉහළ උසාවිය මගින් නියෝගයක් දී තිබිණ.
පර්යේෂණයේ හෙළිදරව්වට අනුව මෙතෙක් කලක් කෝවිලක් සේ පැවැති තලවෙට්ටි මුනි අප්පම් සිද්ධස්ථානය මෙතැන් සිට බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කිරීමට අධිකරණය නියෝග කර ඇත. එසේ ම මෙතැන් පටන් මෙම කෝවිල තුළ කිසිදු හින්දු ආගමික පූජාවක් ද සිදු නොකරනු ඇත.
මෙයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු එන්. ආනන්ද් වෙන්කෙටෙෂ් නියෝග කර ඇත්තේ අදාළ කෝවිල තුළ පිහිටි ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් බවට ප්‍රකාශ කරමින් පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතු බවත් ඉදිරියේදී කිසිදු ආකාරයක හින්දු පුද පූජාවක් මේ ප්‍රතිමාව ඉදිරියේ නොකළ යුතු බවත්ය.
මේ නඩු විභාගය ඇරැඹෙන්නේ වසර 2011 දීය. මෙම කෝවිල පිහිටි ප්‍රදේශය ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටි ප්‍රදේශයක් බව කියමින් පී. රංගනාථන් නමැති පුද්ගලයෙක් උසාවියට පැමිණිල්ලක් ගොනු කළේය. නඩු තීන්දුව නිකුත් වන අවස්ථාවේදී පැමිණිලිකරු මියගොස් සිටි අතර නඩු තීන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා ඇත.