උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සුරැකේ..! පොතුවිල්, කූරගල විහාරස්ථාන පූජා භූමි ලෙස ගැසට් කරයි..!

June 14, 2022 at 11:49 am | by emanisa.lk

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය නව පූජා භූමි 03ක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනයට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග පසුගියදා අත්සන් තබා තිබේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මගින් මෙම පූජා භූමි 03 ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබුණි. මේ වන විට මෙරට පුජා භූමි 78 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මීට මාස තුනකට පෙර නාගදීප රජමහා විහාරය 78 වන පූජා භූමිය ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දේරු සැලැස්මද ඊට අත්‍යාවශ්‍ය වේ.

ඊට අමතරව පූජා භූමි සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති අතර ඇමතිවරයා පවසන්නේ එම පූජා භූමි සංවර්ධනයට ද කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව අනුරාධපුර, කතරගම, පොලොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරය, මඩු දේවස්ථානය, මුහුදු මහා විහාරය, අම්පාර දීඝවාපිය, ත්‍රිකුණාමලය ගිරිහඩු සෑය, මාතර කොලවෙනිගම රජමහා විහාරය, බිංගිරිය දේව ගිරි රජමහා විහාරය, සේරුවාවිල රජමහා විහාරය, මාතලේ අලු විහාර පූජා භූමි සංවර්ධනය සැලැසුම් දැනටමත් සකස් කර ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *