කොළඹ යටවුණාම අපේ සහෝදරවරු කාණු සුද්ද කළා… හම්බ වුණේ ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, තැඹිලි කෝම්බ… ඒවා දැම්මේ අපි නෙමෙයි මේ රටේ මිනිස්සු…! – ටිල්වින් සිල්වා

November 14, 2026 at 12:14 pm | by emanisa.lk

පක්ෂයක් ගොඩනැගීමට වඩා රටක් ගොඩනැගීම අපහසු බවත් අපහසු දේ කෙසේ හෝ කිරීම සිය පක්ෂයේ තේමා පාඨය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“අපිට රටක් ගොඩනගන එක පක්ෂයක් හදනවාට වඩා ටිකක් දුෂ්කරයි. ඒක අමාරුයි. ඒක අපි තේරුම් ගන්න ඕනෙකම තියෙනවා. ලොකු වැස්සක් වැස්සා, කොළඹ යටවුණා. ඉතින් ලියන මහත්තුරු කෑගහන්න පටන් ගත්තා ආණ්ඩුව ආං යටවුණා කියලා.

පස්සේ අපේ සහෝදරවරු ගිහිල්ලා වතුර බහින ඇළ මාර්ග සුද්ධ කරන්න පටන් ගත්තා. මොනවද හම්බවුණේ? ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, තැඹිලි කෝම්බ, අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගැහිලා. කවුද ඒවා ගෙනත් දැම්මේ ඒවාට? මේ රටේ ජනතාව. ඒවා වෙනස් කරන්න ඕනෙ නැද්ද ?

අපි පරපරාවෙන් පරම්පරාවට මේ ආදර්ශය පවත්වාගෙන යනවා කුමන තත්ත්වයක් යටතේවත් බිඳින්න දෙන්නෙ නැතිව. තනි තනි පුද්ගලයෝ අතින් ඕක බිඳෙන්න පුළුවන්, තනි තනි පුද්ගලයෝ බිඳින්න උත්සාහ කරන්න පුළුවන්, ඉතිහාසයේ හැමදාම එහෙම තිබ්බා, හැබැයි ඒ තනි තනි පුද්ගලයෝ එහෙම උත්සාහ කළාට අපි පක්ෂය ආරක්ෂා කරලා තියෙනවා පුද්ගලයා පැත්තකින් තියලා.

එදත් ආරක්ෂා කළා, අදත් එහෙම කරනවා, හෙටත් එහෙම කරන්න වුණොත් ඕනෙ කෙනෙක් සම්බන්ධයෙන් අපි එහෙම කරන්න ලෑස්තියි. හැකි නම් කරමු, නොහැකි නම් කෙසේ හෝ කරමු. ඒක තමයි අපේ තේමා පාඨය. ආණ්ඩුකරණයේත් ඒක තමයි අපේ තේමා පාඨය. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු මේ වැඩේ”

ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවති 37 වැනි ඉල් මහ විරු සමරුව අමතමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස