කොළඹ නගරය ‘බඩේ බත් වගේ හදන බවට’ මැතිවරණයට පෙර ජනතාවට ප්‍රතිඥා දුන් නගරාධිපතිනී ව්‍රායි කැලී බැල්තසාර්, වැසි ජලයෙන් නගරය යටවීම හමුවේ තවදුරටත් නිදහසට කරුණු නොකියා දුන් පොරොන්දු ඉටු කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ශිල්පියෙකු වන සුදත්ත තිලකසිරි ප්‍රකාශ කරයි.
සුදත්ත තිලකසිරි අවධාරණය කරන්නේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි නම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ පාලන බලය ලබාගෙන වසරකුත් මාස හතරකට අධික කාලයක් ගතවී තිබියදීත්, වැසි තත්ත්වයකදී නගරය ජලයෙන් යටවීම පාලනය කිරීමට නිසි පියවර නොගැනීම නගර සභා පාලනාධිකාරියේ බරපතළ නොහැකියාවක් බව ඔහු සඳහන් කරයි.
මැතිවරණයට පෙර නගරයේ ඇළ මාර්ග හා කාණු පද්ධති සියල්ල විධිමත් ලෙස සංවර්ධනය කරන බවට නගරාධිපතිනිය කළ ප්‍රකාශ සිහිපත් කළ සුදත්ත තිලකසිරි, නගරය ජලයෙන් යටවූ පසු ඩුබායි රාජ්‍යයේ ඇති වූ ගංවතුර සමඟ කොළඹ තත්ත්වය සැසඳීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරීම මුළුමනින්ම වැරදි සහගත බව පැවසීය.
ඩුබායි වැනි රටකට මිලිමීටර් 400 ඉක්මවූ අධික වර්ෂාවක් ලැබෙන්නේ ශතවර්ෂයකට පමණ වරක් වුවද, ශ්‍රී ලංකාවට සෑම වසරකම වාරකන් වැසි ලැබීම සාමාන්‍ය ස්වභාවික තත්ත්වයක් බැවින් ඊට නිසි ලෙස මුහුණ දීම පාලකයන්ගේ වගකීමක් බව ඔහු කියා සිටියේය.
වසර 76ක් මුළුල්ලේ පැවති පාලකයන් සිදුකළ නාගරික සැලසුම් විනාශය සහ වැරදි නිවැරදි කිරීම උදෙසා ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බව පෙන්වා දුන් හෙතෙම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට ගොඩනැගීම වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන පසුබිමක, නගරාධිපතිනිය ඇතුළු වගකිවයුත්තන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බව ප්‍රකාශ කරයි.
සිය ‘Talk with Sudaththa’ යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් සුදත්ත තිලකසිරි මේ බව පෙන්වා දෙයි.