පාර කොන්ක්‍රීට් කරලා කාපට් පාරේ වගේ සුදු ඉර අඳින්න බැරිද…! – අගමැතිනිය…

October 15, 2026 at 9:45 am | by emanisa.lk

තාර සහ කාපට් හිඟය හේතුවෙන් සංවර්ධන කටයුතු ප්‍රමාද වන මාර්ග සඳහා විකල්පයක් ලෙස කොන්ක්‍රීට් හෝ ඉන්ටර්ලොක් ගල් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත් ඉදිරි මාස දෙක තුළ ඇදහැලෙන වර්ෂාව හමුවේ ඇතිවිය හැකි ගංවතුර අවදානම වැළැක්වීමට ආයතනික ගැටලුවලින් තොරව වහාම කොළඹ ඇළ මාර්ග පිරිසිදු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දෙයි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීමේදී මෙම උපදෙස් ලබාදීම සිදු විය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මඟින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදුකෙරිණි.

කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කරුණු දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ, තාර හා කාපට් නොමැතිකම හේතුවෙන් ඇතැම් මාර්ගවල වැඩ අවසන් කිරීමට නොහැකිව ගැටලු මතුව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සඳහන් කළේ, කොන්ක්‍රීට් දැමීමට වඩා ජනතාව නිතරම ඉල්ලා සිටින්නේ කාපට් ඇතිරීම බවයි.

“මිනිස්සුන්ගේ කැමැත්තක් නෑ කොන්ක්‍රීට්වලට… කාපට්ම තමයි ඉල්ලන්නේ. ඒක ආකල්පමය ප්‍රශ්නයක්. කාපට් කරලා ඉවරවෙලා සුදු ඉර ඇන්දහම හරි ලස්සනයි කියලයි මිනිස්සු කියන්නේ,” යැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විමසා සිටියේ, “ඇයි කොන්ක්‍රීට් එකට සුදු ඉර අඳින්න බැරිද?” යනුවෙනි.

කාපට් ප්‍රශ්නය මතම රැඳී නොසිට ජනතාව දැනුවත් කර විකල්ප ක්‍රමවේද ඔස්සේ මාර්ග සංවර්ධනය කඩිනම් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

එළැඹෙන මාස දෙකක කාලය තුළ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා සියලු ඇළ මාර්ග පිරිසිදු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ඇළ මාර්ග නඩත්තුව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිතිද නැතහොත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයිතිද යන්න පිළිබඳව නිලධාරීන් අතර මෙහිදී වාද විවාද ඇති වූ අතර, ඊට මැදිහත් වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, වගකීම් සහ අයිතිවාසිකම් පවසා එකිනෙකාට ඇඟිලි දිගු නොකර වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ආයතන එක්ව ඇළ මාර්ග පිරිසිදු කිරීමට පියවර ගත යුතු බවයි.

නිසි කලට ඇළ මාර්ග පිරිසිදු නොකිරීමෙන් මහජනතාව පීඩාවට පත්වීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *