කුඩු මුදලාලිලා ළඟ වැඩ කරන නීතීඥයෝ යුක්තිය මෙහෙයුම කඩාකප්පල් කරන්න හදනවා..! – ඇමැති ටිරාන් අලස්…

January 29, 2024 at 12:05 pm | by emanisa.lk

ජාත්‍යන්තරය කියන ආකාරයට යුක්තිය මෙහෙයුම නතර කිරීමට සූදානම් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

“යුක්තිය මෙහෙයුම තුළින් රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන, මත්ද්‍රව්‍ය බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීම දිගින් දිගට ම සිදුවන අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිතුමාටත් අමාත්‍යවරයා ලෙස මටත් දිගින් දිගට ම විවිධ ආකාරයේ බාධාවන්වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

අතළොස්සක් නීතිඥවරුන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් යැපෙන පිරිස් මේ මෙහෙයුම කඩාකප්පල් කිරීම සඳහා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපහාස සිදුකරනවා. රාජ්‍ය නොවන සංවිධානවල ඇතැම් නියෝජිතයන් සමග එක්ව ජාත්‍යන්තරයට විවිධ පැමිණිලි සිදු කරනවා.

ඒ අනුව පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද මෙම මෙහෙයුම නතර කරන ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නමුත් රටේ සමස්ත ජනතාව ම ඉල්ලා සිටින්නේ මෙම මෙහෙයුම කිසිසේත් ම නතර නොකරන ලෙසයි.

මේ අපේ රට. අපි අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ අපට අවශ්‍ය ආකාරයට මේ රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවේ. මා මෙම අමාත්‍ය ධුරය දරන තාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන බව ප්‍රකාශ කරන්නට කැමතියි. සමාජ මාධ්‍ය තුළින් රටට එරෙහිව කටයුතු කරන ඇතැම් කුහකයන් පමණක් මේ මෙහෙයුම අඩපණ කිරීමට උත්සහ දරනවා.”

ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති මීගමුව ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩමුළුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *