කාබනික නාඩු වී කිලෝව රු.100ට ගන්නවා…! කාබනික වගාවෙන් පාඩු වුණොත් වන්දි ගෙවනවා..! – මහින්දානන්ද…

November 3, 2021 at 9:15 pm | by emanisa.lk

කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිල දී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මේ දිනවල රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති බව කී ඇමැති අලුත්ගමගේ හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බව ද සඳහන් කළේය.

වී කිලෝවකට පළමු වරට රුපියල් අසූවක් ලැබුණේ තමා ඇමැති සමයේ බව තම රුව සහිත පඹයන් හදා පුච්චන ගොවීන්ට අමතක වී තිබෙන බව ද අලුත්ගමගේ සඳහන් කළේය. රජය ලබාදෙන මෙම සහතිකය ගැන විශ්වාසය තබා වහාම ගොවිතැනට යොමු වන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *