ඔන්ලයින් පනත ගෙනාවේ ජනතාවගේ ආරක්ෂාවට…! එහි එකදු වැරැද්දක් ඇත්නම් පෙන්වා දෙනු..! – ඇමැති අලස්…

February 3, 2024 at 10:21 am | by emanisa.lk

පසුගිය දා සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එකදු කරුණක් හෝ පවතී නම් එය පෙන්වා දෙන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අභියෝග කරයි.

අන්තර්ජාල සමාජ මාධ්‍යජාල ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින පසුබිමක කවර රටක හෝ ජනතාවට එයින් සිදු විය හැකි අයහපත් බලපෑම් වළක්වා ගැනීමට නෛතික රාමුවක් පැවැතිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ද මෙම පනත සම්මත කළේ එම ආරක්ෂාව රටේ ජනතාව වෙනුවෙන් සහතික කිරීමට බව අවධාරණය කළේ ය.

මේ වනවිට ලෝකයේ රටවල් මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කොට ඇති බවත් පසුගිය දා අමෙරිකානු කොංග්‍රසය ලෝකයේ ප්‍රධාන පෙළේ සමාජජාල මෙහෙයවන්නන් කැඳවා දැඩිව ප්‍රශ්න කළ අතර එම හිමිකරුවන් මෙම සමාජ ජාල හේතුවෙන් අගතියට පත් දරුවන්ගේ මවුපියන්ට කනගාටුව පළ කිරීමට පවා සිදුව ඇති බව ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ ව්‍යාජ සමාජජාල ගිණුම් පවත්වා ගැනීම ඔස්සේ විවිධ විෂමාචාර සිදු කිරීම වර්ධනය වී ඇති අතර එවැනි පසුබිමක් වළක්වා ගැනීමට මෙවැනි නෛතික රාමුවක් අත්‍යවශ්‍ය බව ඇමතිවරයා පැවසීය.

කෙසේ වුව ද, මේ වනවිට විවිධ පුද්ගලයන් මෙම පනත අයිතිවාසිකම් කැඩීමක් බව චෝදනා එල්ල කරන අතර සමාජයේ යහපත සඳහා ම සැලකූ මෙම පනත මගින් උල්ලංඝණය වන අයිතිවාසිකම් තිබේ නම් ඒවා කවරේදැයි කරුණු සහිතව පෙන්වා දෙන ලෙස තමන් අභියෝග කරන බව ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *