ඉන්ධන බෙදා හැරීම් කඩාකප්පල් කරන සූදානමක්..! නළ කඩා දත්ත පද්ධති අක්‍රීය කරන කුමන්ත්‍රණයක්..!

April 1, 2023 at 1:09 pm | by emanisa.lk

වෘත්තීය සමිතිවලට අයත් කිසියම් පිරිසක් කොළොන්නාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් කඩා වැදී එහි ඉන්ධන බෙදාහරින නළ පද්ධතිය, ප්‍රධාන ස්වයංක්‍රීය දත්ත පද්ධතිය හා අනෙකුත් දේපළවලට හානි පමුණුවා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එබැවින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත (31) ලිපියක් යොමුකරමින් ඇමැති විජේසේකර දැනුම් දී තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අමතරව ඉන්ධන ගබඩා කරන හා බෙදාහරින සෙසු ස්ථානවලටද මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම ස්ථානවලට ද අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ද ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කොළොන්නාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය අසල එහි සේවකයන් පිරිසක් ඉකුත්දා (27) උපවාසයක නිරත වූ බව ද පසුදා (28) මෙම පිරිස බලහත්කාරයෙන් එම ආරක්ෂිත කලාපයට ඇතුළු වී එහි සේවකයන් බිය වද්දා පලවා හැර ඔවුන්ට නිදහසේ සේවය කිරීම වැළැක්වූ බව ද මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට පැමිණි ටැංකි රථද ආපසු හරවා යවා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අකර්මණ්‍ය කිරීමට කටයුතු කර තිබූ බවද ඔහු එම ලිපිය මඟින් පෙන්වාදී තිබේ.

මෙසේ එහි කඩා වැදුණු පිරිස අතර වෘත්තීය සමිති නියෝජනය කරන වත්මන් සේවකයන්, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සේවයෙන් නිවාඩු ලබා ඇති සේවකයන් මෙන්ම විශ්‍රාමික සේවකයන් ඇතුළු පිරිස් හා බාහිර පුද්ගලයන් ද එහි සිටි බවට තොරතුරු ලැබී ඇති බව ඇමැතිවරයා පවසා ඇත.

පිරිසගේ ක්‍රියාකලාපය නිසා මහ ජනතාවට ද විශාල අපහසුතාවන් ඇති වූ බැවින් මෙම පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද ඔහු එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, එම අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිටපත් සහිතව ඇමැති කංචන විජේසේකර මෙම ලිපිය යවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *