ඉන්ධන පිරවුම්හල් පාතාළ කල්ලි යටතට…! තෙල් බෙදීම අවුල් ජාලයක් වෙයි…! පෝලිම්වල ජනතාව කබලෙන් ළිපට…!

June 20, 2022 at 3:34 pm | by emanisa.lk

රටේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් පාතාලයේ රජදහන් බවට පත්වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ. ඇතැම් පාතාල ක්‍රියාකාරීන් සහ දාමරිකයන් ඉන්ධන පිරවුම්හල්වලට රිංගා විවිධ තර්ජන ගර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් සිටිති.

සමහර දාමරිකයන් එසේ කටයුතු කරන්නේ පොලිස් නිලධාරින් සහ හා හමුදා නිලධාරීන් බලා සිටිය දී බව දැනගන්නට ඇත.
සමහර ඉන්ධන පිරවුම්හල්වල ජනතාව හසුරුවන්නේද දාමරික පිරිස් බව පවසන ජනතාව එම පුද්ගලයන් බලහත්කාරයෙන් පෝලිම්වලට වාහන රිංගවීම ජයටම කරගෙන යන බව ද සඳහන් කරති.

තවත් ඇතැම් ප්‍රදේශවල පෝලිම්වලට විවිධ ආපදාවලට ලක් වූ යතුරු පැදි රිංගවා පසුව ඒවා ඉවත් කරගෙන වෙනත් යතුරුපැදිවලට අවස්ථාව ලබාදීමෙන් මුදල් ගරන කණ්ඩායම් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇත.

එසේම ඉන්ධන ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා හැඳුනුම්පත අවභාවිත කරන පිරිස් සම්බන්ධයෙන් ද පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඉන්ධන පිරවුම් හල්වල ක්‍රියාත්මක වන පාතාල සහ දාමරික කණ්ඩායම් සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ජනතාව රජයට පෙන්වා දෙති. එසේ නොවුණහොත් පෝලිම්වල දින ගණනාවක් ගත කරන ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බව ද ඔවුහු සඳහන් කරති.

මේ අතර ඉන්ධන ලබාදීමේදී විධිමත් ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය නොකළහොත් පෝලිම්වල තදබදය තව දුරටත් උග්‍ර විය හැකි බව පෙන්වා දෙන ජනතාව වාහන අංක තහඩුවේ අග ඉලක්කම පදනම් කරගෙන ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට ද යෝජනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *