ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිපුර සිසුන් 10 500කට විශ්වවිද්‍යාල වරම්….! අලුත් වෛද්‍ය පීඨ 04කට සෑහෙන වෛද්‍ය සිසුන්ටත් අවස්ථාව…!

March 2, 2021 at 9:10 pm | by emanisa.lk

නිදහසෙන් පසු පළමු වතාවට මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 10 588ක් පමණ වැඩිපුර බඳවා ගෙන ඇතැයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

ඒ අතරින් වෛද්‍ය පීඨවලට පමණක් සිසුන් 479ක් බඳවා ගෙන ඇති බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග එය අලුතින් වෛද්‍ය පීඨ 4ක් ආරම්භ කිරීමට සමාන යැයි ද කීවේය.

ඒ අනුව මේ වසරේ දී සිසුන් 41 000ක් විශ්විද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත බවත් විශ්වවිද්‍යාල යටිතල පහසුකම් සහ මානව සම්පත් කළමනාකරණය සඳහා වැඩිපුර රු. බිලියන 05ක මුදලක් උවමනා බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කරගන්නැයි ද දන්වා සිටියේ ය.

විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස