ඉතිහාසයේ ගමන්මග වෙනස් කළ නායකයා හිටපු ජනාධිපති මහින්දයි..! – බන්දුල..

October 21, 2022 at 7:37 pm | by emanisa.lk

රටේ ඉතිහාසයේ ගමන්මග මෙන්ම මාර්ග සංවර්ධනයේ ගමන්මග සැබැවින්ම වෙනස් කළ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

රත්මලාන, අඟුලානේ පිහිටි මග නැගුම උපදේශන හා ව්‍යාපෘති කළමණාකරන සේවා සමාගමට වසර දහඅටක් සපිරීම නිමිත්තෙන් එහි කාර්යාල පරිශ්‍රය නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“වසර 18කට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ එතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ මග නැගුම උපදේශන හා ව්‍යාපෘති කළමණාකරන සේවා සමාගම රටේ මංමාවත් ඉතිහාසය විප්ලවීය වෙනසක් සිදු කරනු ලැබුවා.

මෙම ආයතනයට වසර 18ක් සපිරි තවත් අදියරක් ඉදිරියට යන මොහොතේ ඊට සුබ පතන්නට මේ අවස්ථාවට එක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපගේ ගෞරවය ස්තුතිය හා ප්‍රණාමය පිරිනමනවා. අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහායි ජාතියට නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ උතුම් මාතෘභූමියේ නොකැඩී නොබිඳී තිස් වසරක් පැවති යුද්ධය නිමා කරමින් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජන කොටස් විට තමන් කැමති තැනක ජීවත්වීමේ හා ජීවනෝපාය සලසා ගත හැකි බියෙන් හා සැකෙන් තොර රටක් නිර්මාණය කිරීමේ මහා ජාතික යුතුකම් හා වගකීම් ඉටු කළේ එතුමා.

එදා එසේ සිදු කළ නිසා අලුතින් සංවර්ධනය ගැන සිතන්නට රටට හැකි වුණා. යකඩ ගැටෙන අමිහිරි ශබ්දය, උණ්ඩයේ අමිහිරි සුවඳ, දුක්, වේදනා තිස් වසරක් පුරා විඳි ජනතාවට අනාගතය පිළිබඳ නව බලාපොරොත්තුවක් ලැබුණේ ඉන්පසුවයි.
විශේෂයෙන් උතුරු නැගෙනහිර හා අනෙකුත් ප්‍රදේශ යා කිරීම සඳහා මංමාවත් සංවර්ධනය අතිශයින් නොසලකා හැර තිබූ වකවානුවක් තිබුණා. බුදුන් වහන්සේ වැඩම කළ මහියංගණයට යන 18 වංගුවේ වාහන ගමන් කළේ දැඩි අවදානමකින්. ඒ දහ අට වංගුව ආපස්සට නොපැමිණ ඉදිරියට යා හැකි ආකාරයෙන් සංවර්ධනය කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී බව අප අමතක නොකළ යුතුයි.

එසේම අධිවේගී මාර්ග, පුළුල් මාර්ග, උතුරු නැගෙනහිර පළාත් වල වසර තිහක් සම්පූර්ණයෙන් විනාශ කර තිබූ මාර්ග උතුරු වසන්තය නැගෙනහිර උදානය යටතේ විශාල ලෙස සංවර්ධනය කළා.

ඒ අනුව කාපට් ඇතිරූ නවීන මාර්ග ඉදිවුණා. දැවැන්ත පාලම්, බෝක්කු ඉදිවුණා. ප්‍රවාහන දැවැන්ත විප්ලවීය වෙනසක් සිදු වුණා. රටේ ඉතිහාසයේ ගමන්මග මෙන්ම මාර්ග සංවර්ධනයේ ගමන්මග සැබැවින්ම වෙනස් කළ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.ඒ වෙනස සිදු කරන්නට නායකත්වය ලබා දුන් නායකයා වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට එතුමා බිහිකළ මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමණාකරන සේවා සමාගමට වසර දහඅටක් සපිරෙන මේ මොහොතේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස