ඇමැති රඹුක්වැල්ල වහාම ධූරයෙන් නෙරපනු…! – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව…

February 5, 2024 at 9:52 am | by emanisa.lk

රජයේ මුදල් අපහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලයි.

ඔහු තව දුරටත් කැබිනට් මණ්ඩලයේ තබා ගතහොත් ඉදිරි විමර්ශනවලට බාධා එල්ල විය හැකි නිසා ඔහු ඉවත් කිරීමේ තීරණය කඩිනමින් ගතයුතුව ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.

රාජ්‍ය නිලධාරියකු නම් මූල්‍ය අපරාධයක්, ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ සාහසික ක්‍රියාවකට අත්අඩංගුවට ගතහොත් ඔහුගේ සේවය අත්හිටුවීමක් සිදුවන බවත්, රඹුක්වැල්ල මහතාට එල්ලවී ඇත්තේද රජයේ මුදල් අපහරණය, කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම, අසත්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලයේ විශ්වාසය කඩ කිරීම වැනි බරපතළ චෝදනා බවත් ඒ මහතා කියා සිටියේය. මෙය තමා විසින් නොව නීතිපතිවරයා විසින් එල්ලකර තිබෙන චෝදනා බව ද ඔහු පැවසීය.

මෙවැනි චෝදනා එල්ලවී ඇති අයකු තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තබාගතහොත් එය ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇති විය හැකි බව ද වෛද්‍ය චමල් සංජීව මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *