ඇටමිදුළු රෝගී දරුවා වෛද්‍ය නොසැලකිල්ලෙන් මිය යයි! බරපතළ ක්ෂය සහ ලාදුරු රෝගවලට දෙන ඖෂධ දීලා!

May 27, 2019 at 9:06 am | by admin

ඇට මිදුළුවල ඇති වූ රෝගයකින් පෙළුණු දරුවෙකුට දිය යුතු බෙහෙත් වෙනුවට ක්ෂය රෝගීන් හා ලාදුරු රෝගීන් බරපතලම තත්ත්වයේ සිටියදී දෙන ඖෂධයක් ලබාදීම නිසා එම දරුවා මිය ගිය බව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පසුගිය දා පැවති පරීක්ෂණයක දී අනාවරණය විය. මිය ගොස් තිබුණේ කොස්ගම, අකරවිට විසූ 11 හැවිරිදි මීපෙ ගමගේ පසිඳු මධුහංස නමැති දරුවෙකි.

ඉතා පරිස්සමින් බලාගත යුතු දරුවෙකු බවට වෛද්‍යවරුන් උපදෙස් දී තිබියදීත් තම දරුවා මියගියේ ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා යැයි මියගිය දරුවාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් කොළඹ අතිරේක නාගරික හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ඉදිරියේ දරුවාගේ මව වන විජේකෝන් මුදියන්සේලාගේ චම්පිකා කුමාරි (35) මහත්මිය කියා සිටියාය.

වැරදි ඖෂධය සති දෙකක් දුන් බවත්, ඖෂධ දෙන විට ‘අනේ අම්මේ මට මේ බෙහෙත දෙන්න දෙන්න එපා, කටත් තුවාල වෙලා’යැයි තම පුතු පැවසූ බවත් අවසන් දින කිහිපයේ ඔහු නැගී සිටිය දී ඇද වැටෙන තත්ත්වයට පැමිණි නිසා යළි රෝහල් ගත කළ බවත් මව තවදුරටත් කියා සිටියාය.

එසේ රෝහල් ගත කළ විට නියම කළ බෙහෙත බලා වැරදි බෙහෙතක් දී ඇති බව වෛද්‍යවරුන් පවසා සිටියේ යැයි ද ඇය කීවාය. වැරදි බෙහෙත් වට්ටෝරුවක් මෙම මරණයට හේතු වී ඇති බව මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතා ද සිය වාර්තාවේ සටහන් කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස