ප්‍රභූ පැලැන්තියෙන් බැහැරව රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනයට පිවිස පාලන බලය ලබා දෙන්නට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“රට වැටුණු අවස්ථාවේ මා සමග එකතු වී අර්බුදයට මුහුණ දී රට ගොඩගත් කණ්ඩායම අද ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. වසර දෙකක් ඇතුළත රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට උදව් කළ මේ අයට විශේෂ පළපුරුද්දක් තිබෙනවා. එදා ණයෙන් ගිලුණු රට දැන් කෙසේ හෝ ගොඩගෙන තිබෙනවා. රට මුහුණ දී තිබූ ප්‍රශ්නවලින් තවම සම්පූර්ණයෙන්ම මිදී නැහැ. ඒ නිසා පළපුරුදු කණ්ඩායමක් අවශ්‍යයි.
ජනාධිපති ඇතුළු මාලිමාවේ උදවිය ආණ්ඩුවේ සිටිනවා යැයි පෙනෙන්නට තවම හැසිරෙන්නේ නැහැ. බලය ගත් පසු කරන වැඩපිළිවෙළක් ගැන කියන්නෙත් නැහැ. හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ. දැන් වෛරය පතුරවමින් වටේ යනවා.
වසර 76 ක් තිස්සේ මුකුත් කළේ නැහැ. රට නැති කළා කියමින් වෛරය පතුරවනවා.ඒ නිසා මාලිමාවේ මිත්‍රයන්ට මෙන්ම සෙසු අයට දැනගැනීම සඳහා කරුණු කිහිපයක් මතක් කරන්න කැමතියි.
1948 වසරේ රජයේ පාසල් 3188යි. 2024 එම පාසල් ප්‍රමාණය 10146යි. 1948 පාසල් යන අනුපාතය සියයට 65යි. දැන් එය ජනගහනයෙන් සියයට 92.43යි. එය දකුණු ආසියාවේ හොඳම තත්ත්වයක්. මේ රට නැති කිරීමක්ද? මේ සියලු ම දෙනා ඉගෙන ගත්තේ අප නිදහස් අධ්‍යාපනය ගෙනා නිසයි.”
රටේ ආර්ථිකය හැසිරවීමේ වැඩ කටයුත්ත දන්නවා නම් හරියට කරන්නැයි කී හිටපු ජනාධිපතිවරයා දන්නේ නැත්නම් සීයගෙන් අහන්න යැයිද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ගාල්ලේ පෙරේදා (07) පැවැති ජන හමුවක දීය.