තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිලධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එක පවුලක් ලෙස වැඩකරන විට කේලම් කියා එකිනෙකා කෙටවීමට කිසිවකුට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
“බෙදිල වැඩ කරන්න එපා. බොහෝ තැන්වල වෙන්නේ ලේකම්වරු ඇතුළු නිළධාරීන්, ඇමතිවරුන් බෙදිල වැඩ කරන එකයි. ආණ්ඩු කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. ඒ නිසා අපි කොටවන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ලේසියෙන් අපිව කොටවන්නත් බැහැ. අපි එක පවුලක් වගේ වැඩ කරල අනිත් අමාත්‍යංශවලට ආදර්ශයක් දෙමු.”
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හි ප්‍රධානීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. අලුතින් පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන ප්‍රධානීන් හඳුන්වාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ. නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු පත් වූහ.