ආණ්ඩුවේ 2/3 අනාගතේ අහිමි වෙන්න පුළුවන්! ඒ නිසා නව ව්‍යවස්ථාව වහාම ගෙන ආ යුතුයි! – ගුණදාස අමරසේකර

August 19, 2020 at 11:18 am | by emanisa.lk

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවත් වසර දෙකකට වඩා ගත වනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා පවසා ඇතත් එය සම්පූර්ණයෙන්ම විහිළුවක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර සඳහන් කරයි.

ආණ්ඩුව තවත් අවුරුදු දෙකක් ගත වන තුරු බලා සිටියොත් සිදුවිය හැක්කේ තුනෙන් දෙක තුනෙන් එක වීම බව ද පැවසූ ඔහු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විශාල කාලයක් ගත නොකර ඉක්මනින්ම ගෙන ආ යුතු බවද පැවසීය.

පවතින 19 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් නොකර එහි සංශෝධන පමණක් සිදු කිරීමට රජය සූදානම් වන්නේ නම් ඊට දැඩිව විරුද්ධ වන බවත් රටට දැන් අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් බවත් ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක ජනතාව ඡන්දය ලබාදුන්නේ ද පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ හා සමානව ජයග්‍රහණයක් ලබා දුන්නේද ව්‍යවස්ථා සංශෝධනයකට නොව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවද ඔහු පෙන්වා දුන්නේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *