ආණ්ඩුවේ පක්ෂ එකොළහ ඉරි තලයි…! මන්ත්‍රීවරු 31න් 20ක් ම ආණ්ඩුවෙන් යන්න බෑ කියති…!

March 7, 2022 at 4:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජය සමඟ එක්ව කටයුතු කරන හවුල්කාර පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනාගෙන් 20 දෙනකුගේම සහාය රජයට ලබා දීමට කටයුතු කරන බව අදාළ මන්ත්‍රීවරුන් සිකුරාදා රාත්‍රිය වන විට රජයට දැනුම් දුන් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රජය සමඟ යම් මත ගැටුම් තිබුණ ද මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රට තුළ අනවශ්‍ය දේශපාලන අර්බුදයක් ගොඩනැංවීමට තම දායකත්වය ලබා නොදෙන බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය 2 වෙනිදා හවුල්කාර පක්ෂ 11ක සහායෙන් පැවැත්වූ මුළු රටම හරිමඟට ප්‍රකාශනයේ යෝජනා මාලාවෙන් පසුව උද්ගත වූ යම් ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමැතිවරුන් ඇමැතිකම්වලින් මාර්තු 3 වැනිදා ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදී.

එම ඉවත්කිරීම සම්බන්ධයෙන් හවුල්කාර පක්ෂ 11 විසින් මාර්තු 4 සිකුරාදා කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් කිසිවකු පැමිණි නොසිටි අතර ජාතික කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ද ඊට සහභාගී වූයේ නැත.

හවුල්කාර පක්ෂ එකොළහේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙක් නියෝජනය කරන අතර ඉන් මන්ත්‍රීවරුන් 29 දෙ‍ෙනක් පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙනි. එම මන්ත්‍රීවරුන් 29 දෙනා අතර ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5කි.

හවුල්කාර පක්ෂ නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් බහුතරයකගේ මතය වී ඇත්තේ රජයෙන් ඉවත් වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවයි. එමෙන්ම ඇමැති වාසුදේව නානායක්කාරද සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ තමා ඇමැති මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවන නමුත් කිසිදු හේතුවක් මත විපක්ෂයට නොයන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *