අලුත් ආණ්ඩුවක් ආවොත් මාලිමා රොත්තම වැලිකඩ… 22න් මැතිවරණ සිතියම අවුරුදු 20ට අකුළන්න සූදානම්…!

August 28, 2026 at 10:29 am | by emanisa.lk

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමින් මැතිවරණ නොපවත්වා ජාතික ජන බලවේග පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරමින් සිටින බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

ඉදිරි වසර 10ක් හෝ 20ක් යනතුරු මැතිවරණ නොපවත්වන බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිදු කරන ප්‍රකාශ, ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මෙතෙක් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති බවද හෙතෙම පෙන්වා දෙයි.

වෙනත් රජයක් යටතේ ඉදිරියේදී නීතියට මුහුණ දීමට සිදුවනු ඇතැයි පවතින බිය නිසා රජය මෙලෙස මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බවද ඔහු ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගයට වෙනුවට තම කණ්ඩායම සැබෑ විපක්ෂය ලෙස රජය පිළිගැනීම පිළිබඳව ඇමති නලින්ද ජයතිස්සට ස්තූති කරන බවද හිටපු ඇමතිවරයා සඳහන්කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීමට වත්මන් රජය සතුව නිසි සැලසුමක් නොමැති බවත් 2022-2024 කාල සීමාව තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් දැඩි තීරණ නිසා ආර්ථිකය තරමක් ස්ථාවර වුවද වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ 2027න් පසු රටට ඉදිරියට යාමට නොහැකි වනු ඇති බවටද අනතුරු අඟවයි.

2028 වසරේ සිට ණය ප්‍රතිපූරණය ආරම්භ කිරීමට සිදුවන බැවින් දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක විදේශ සංචිතය 2028 වන විට ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමේ දැවැන්ත අභියෝගයට රජය මුහුණ දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස