ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය වැඩසටහන රටේ විශාල පෙරළියක් සිදු කරන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දිය හැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
“එතුමා රටේ දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ඇති කළා. එතුමාගේ ගමන බොහෝ අය විවේචනය කළා. එතුමා ඒ කිසිවකුටත් ඇහුම්කම් නොදී රට ඉදිරියට ගෙන ගියා. පසුගිය අවුරුදු දෙක තුළ ගොවි ජනතාවට ද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණා. පොහොර තිබුණෙ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිතුමා ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර ලබා දුන්නා. එතුමා ගොවි ජනතාව විශ්වාස කළා.
අර්බුද සමයේ ආහාර අහේනියක් නොමැති රටක් බවට මේ රට පත් කළේ ගොවි ජනතාවයි. පොළොන්නරුවේ ගොවි ජනතාව වෙනුවෙන් උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දිමට පියවරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වටපිටාවක් අද ගොඩනැගී තිබෙනවා.
ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට ද කෘෂිකාර්මික ක්ෂේත්රයෙන් ඔබ ලබා දී තිබෙන වර්ධනය ද පිටිවහලක් වුණා. එම නිසා අප කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඔබ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ අරාජික වූ රටක් වන නමුත් එතුමා අප සමඟ එක්වී මේ රට විශ්වාසනීය රටක් බවට පරිවර්තනය කර තිබෙනවා.”