අපි රනිල් පන්නලා සජිත් ගේන්න හැදුවේ…! ඒක වැළැක්කුවේ ගෝඨාභය…! – ඩිලාන්ගෙන් හෙළිදරව්වක්…

June 22, 2023 at 11:53 am | by emanisa.lk

ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ විසින් බාර ගත්තේ එය ධුරය බාර ගැනීමට වෙනත් කිසිවෙකුත් ඉදිරිපත් නොවුණු නිසා බවට පවසන කතාව බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඔහු පවසන්නේ ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක ඒ සඳහා අඩුවැඩි වශයෙන් කැමැත්ත පළකර තිබූ බවයි.

“අපේ රටේ දැන් මේ තහවුරු කරන්න හදන මතයක් තියනවනේ මේ රට කව්රුත් බාරගන්න හිටියේ නැහැ, ඒ නිසා රනිල් මහත්තයා මේක බාරගත්තා කියලා. මම කියන්නේ ඒ මතය, ඒ කතාව බොරුවක් කියලයි. මම නෙමෙයි ඒ කතාව කියන සමහර උදවියත් දන්නවා ඒක පල බොරුවක් කියලා.

ඒ වෙලාවේ අපි දන්නවා මහජන විරෝධය නිසා මහින්ද මහත්තයා අගමැතිකමින් ඉල්ලා අස්වුණා කියලා. ඒ වෙනකොට ජනාධිපති ගෝඨාභය මහත්තයා. මේක බාර ගන්න ඩලස් මහත්තයා උන්නා දුන්නේ නැහැ. අනුර දිසානායක මහත්තයා හිටියා දුන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තය හිටියා එයාටත් දුන්නේ නැහැ. ඊට පස්සේ ගෝඨාභය මහත්තයා අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්තයට දුන්නා.

දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂේ අයටත් මේ කතාව අමතකයි; ඒ නිසා මම කියන්නම් ඊට පස්සේ වෙච්ච දේ. අරගලයේ උන්න අය මුලින් කිව්වේ ‘ගෝටා ගෝ හෝම්’ කියලා. ඒ නිසා රනිල් මහත්තයා අගමැති කරලා ගෝඨාභය මහත්තයා මාලදිවයිනට ගිහින් සිංගප්පූරුවට ගියා මතකනේ. ඊළඟට අරගලය කිව්වේ ‘රනිල් ගෝ හෝම්’ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෑස්ති වුණා අගමැතිකමින් ඉල්ලා අස්වෙන්න. එයා ඒ බව කිව්වා කතානායකතුමාට.

එයා කිව්වේ මම අගමැතිකමින් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි, හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරයෙක් ඒක බාර ගන්න ලෑස්තියි කියලා මට දැනුම් දෙන්න කියලා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගය හැර අනෙක් අපි සියලුම දෙනා රැස්වුණා ඉම්පීරියල් හෝටලයේ. එතන ලසන්ත අල්ගියවන්නලා, දුමින්ද දිසානායකලා, ටීඑන්ඒ එක වගේ අපි හැමෝම උන්නා. අපි එතන තීන්දුවක් ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලා අස්වෙනවා නම් ඊළඟට අගමැති වෙන්න ඕනේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා.

එතන ඒ සාකච්ඡාවේ ඉඳල ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කෝල් එකක් ගත්තා කතානායකට. අරගෙන වහාම ඊට පහුවෙනිදා උදේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න අපි එක්කෙනක් තෝරාගෙන ඉන්නේ අගමැතිකමට කියලා කිව්වා. ඊට පස්සේ කතානායකතුමා කෝල් කරලා අපි හැමෝටම වෙන වෙනම කිව්වා පහුවෙනිදා උදේ නමයහමාරට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කැඳවනවා ඒකට එන්න කියලා.

මේ පණිවිඩ යන අතරේ එදා තමයි ගෝඨාභය මහත්තයා සිංගප්පූරුවේ ඉඳලා කතානායකතුමාට ජනාධිපතිකමින් ඉල්ලා අස්වීමේ ලියුම එවන්නේ. එදා දවසේ ගෝඨාභය මහත්තයා ඒ ලියුම එව්වේ නැත්නම් පහුවෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමින් ඉල්ලා අස්වෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වෙනවා සියලුම පක්ෂවල අයගේ කැමැත්තෙන්.

ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම බාරගන්න කැමති වුණා. ඒ නිසා ඔය කියන කව්රුත් බාරගන්න හිටියේ නැහැ කියන කතාව බොරුවක්. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා බාරගන්න කැමැත්ත දුන්නා, අනුර දිසානායක මහත්තයා බාරගන්නවා හරියට ඔෆර් කළා නම්, සියලුම පක්ෂවල එකඟතාව මත සජිත් ප්‍රේමදාස මහත්තයත් බාරගන්න කැමැත්ත දුන්නා. ඒ තමයි ඇත්ත. හැබැයි ඒවා නැවතුනේ ඒ තීන්දුව දැනගත්තට පස්සේ සිංගප්පූරුවේ ඉඳන් ආපු ලියුම නිසයි.
ගෝඨාභය මහත්තයා ඉල්ලා අස්වුණු ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමින් ඉල්ලා අස්වෙන එක නැවතුනා. ඕක තමයි ඇත්ත කතාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *