අපි භාරගත්තේ ජනතාව පෝලිම්වල දුක් විඳින බංකොලොත් රටක්..ඒ රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ඩොලර් බිලියන අටක් ණයත් ගෙවුවා..! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

June 11, 2026 at 12:21 pm | by emanisa.lk

වත්මන් රජය බලයට පත්වන විට රට පත්ව තිබූ දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් මුදවා ගනිමින්, මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන අටක ණය මුදලක් ගෙවා දමා ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ස්වාධීන රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමන් රජය භාර ගන්නා විට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පවා මුදල් නොතිබූ, ජනතාව පෝලිම්වල පීඩා විඳි සහ ආර්ථිකය ගොඩනැඟීමට 2048 දක්වා කල් ගතවන බව පැවසූ යුගයක් තිබූ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

එහෙත් එම තත්ත්වය වෙනස් කරමින් මේ වන විට ණය ගෙවීම ආරම්භ කර ඇති බවත්, ස්ථාවර ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

පාඩු ලැබූ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීට පෙර රුපියලකට හෝ විකුණා දැමීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන රැසක් මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බවයි.

කහටගහ පතල, ලංකා මිනරල් සෑන්ඩ්ස්, වාලච්චේන කඩදාසි සංස්ථාව, බී.සී.සී. (BCC) ආයතනය සහ මිල්කෝ ආයතනය වැනි ආයතන මේ වන විට මෙහෙයුම් ලාභ ලබමින් සේවකයින්ට ප්‍රසාද දීමනා පවා ලබාදෙන මට්ටමට දියුණු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

හොරකම සහ දූෂණය නතර කිරීමේ ප්‍රතිඵල මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් වූයේ හොරකම සහ දූෂණය නතර කිරීම මෙන්ම අකාර්යක්ෂමතාවය මඟහරවා ගැනීම නිසා බව අමාත්‍යවරයා පැවසීය.

රජය සෑම ව්‍යාපාරයක්ම කළ යුතු යැයි තමන් විශ්වාස නොකරන නමුත්, විකුණා දැමීමට නියමිතව තිබූ රජයේ ව්‍යාපාර අද වන විට රජයට ආදායම් උපයන මට්ටමට පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ගමන පසුගිය මාස 12-18 වැනි කෙටි කාලසීමාවක් තුළ ඩොලරය ස්ථාවර කර ගැනීමටත්, අපනයන වර්ධන වේගය ඉහළ නංවා ගැනීමටත් රජයට හැකි වී තිබේ.
2024 වසරට සාපේක්ෂව 2025 සහ 2026 වසරවලදී ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට හැකි වනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *