අපි ගෙවන්නේ අසීරුතම සති තුන…! ඊට පස්සේ රට හොඳ අතට හැරෙනවා…! – රනිල්….

June 29, 2022 at 8:08 pm | by emanisa.lk

ලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (28) පැවැති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මේ බව කීය.

දැනට පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත ආසන්නතම දිනය ජුලි 22 බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව ද සඳහන් කළේය.

ඩීසල් ලබා ගැනීමට මුදල් තිබුනත් රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ අර්බුදයක් පැන නැගී තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

ලංකාවේ දැන් සිදුවී ඇති ආර්ථික කඩාවැටීම 1969 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමෙන් වූ තත්ත්වයටත් වඩා දරුණු තත්වයක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

ඩීසල් හා පෙට්‍රල් අර්බුදය හදිසි තත්ත්වයක් නොවේ යැයි ද මාස ගණනාවක සිට තෙල් නැව් ගෙන ඒමෙි කළමනාකරණ දුර්වලතාවය නිසා සිදු වූ දෙයක් බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවෙන් මුදල් ලබාගෙන ඉන්ධන නැව් කිහිපයක් ගෙන්වා ගැනීමට සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

දැනට ලංකාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හත් දහසක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස