අන්තවාදීන්ට කප්පම් නොදී ආණ්ඩු හදන්න බැරි බවට පැවති මිත්‍යාව පරාජය කිරීම විප්ලවයක්! – මනෝහර ද සිල්වා

September 14, 2020 at 4:51 pm | by emanisa.lk

නීතීඥයකු ලෙස බොහො ම සම්භාවනීය වේදිකාවල කතා කළ තමන් කොළඹ මහජන පුස්තකාල වේදිකාවට ඇද දැම්මේ යුතුකම සංවිධානය බවත් තමන් ඒ පිළිබඳ මහත් ආඩ්බරයට සහ සතුටට පත්වන බවත් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා පවසයි.

එතෙක් පොදු මහ ජනතාව වෙත ගමන් නොකළ රටේ බුද්ධිමතුන්ගේ දැනුම ඔවුන් වෙත ගෙන යන ප්‍රවාහය බවට පසුගිය වසර පහ තුළ යුතුකම සංවිධානය පත් වූ බව ද ඔහු සිහිපත් කළේය.

පසුගිය දා (11) අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති යුතුකම සහෘද හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේ රටේ සුළු ජාතික ඡන්ද නොමැතිව ආණ්ඩුවක් හදන්න බැරි බවට මුල් බැස පැවති මිත්‍යාව බිඳ දමමින් විප්ලවයක් කිරීමට යුතුකම සංවිධානය මුල් වුණා. ආණ්ඩුවක් පිහිටුවීමට නම් අන්තවාදී වර්ගවාදී කණ්ඩායම් සතුටු කිරීම අනිවාර්ය බවට පැවති දැඩි සමාජ මතවාදය පරාජය කරන්න යුතුකම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා.

රටේ විවිධ වෘත්තීය සංවිධාන තිබුණත් මේ රටේ සියලු දෙනාගේ ජීවිත කෙරෙහි බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඒ නිසා මතුවන ප්‍රශ්න පිළිබඳ හදාරන පිරිස ඉතා ම අඩුයි. එවැනි පසුබිමක යහපාලන ආණ්ඩුව මේ රට ඔරුමිත්තනාඩුවක් කිරීම සඳහා ගෙන ආ ඉතා ම භයානක ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට යුතුකම සංවිධානය පෙරමුණ ගත්තා.

මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත බලයට පත්කර ගැනීම සඳහා යුතුකම සංවිධානය ඇපකැප වී කටයුතු කළා. ඒ සඳහා මටත් සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම සතුටක්.

මේ රටේ ජාතික ව්‍යාපාරයේ ඉදිරියෙන් ම සිටිමින් යුතුකම සංවිධානය සිදුකළ කාර්යභාරය නිසා සභාපති ගෙවිඳු කුමාරතුංග සහ ජාතික සංවිධායක අනුප පස්කුවල් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලට පත්වෙලා. යුතුකමේ මෙහවර රාජ්‍ය නායකත්වය වගේ ම මේ රටේ ජනතාව ද පිළිගෙන ඇති බවට එය හොඳ සාක්ෂියක්.

මේ රටේ බහුතර ජනතාවගේ අයිතිවාසිකම්, ජාතික උරුමය, ජාතික සම්පත්, භාෂාව ආරක්ෂා කරගෙන අන්තවාදීන්ට එම උරුමය යටපත් කිරීමට ඉඩනොදී කටයුතු කරන රටක් ගොඩනැඟීම සඳහා යුතුකම සංවිධානය ඉදිරියටත් සිය මගපෙන්වීම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත දේවසිරි, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, සුජාතා අත්තනායක, දිලිත් ජයවීර, සුදත් රෝහණ, පාලිත සිල්වා, යුතුකම ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල්, යුතුකම ලේකම් මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු යුතුකම ජාතික සංවිධානයේ සාමාජික පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස