අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත ලබා දුන්නේ, අධිවේගී මාර්ග තැනීමට ලබා ගත් ණය ජනතාවගේ බදු මුදල්වලින් ගෙවා නිම කිරීමට නොහැකි නිසා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, අධිවේගී මාර්ග ගොඩනැගීමට බිලියන 800ක ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව ත් එම ණය මුදල අධිවේගී මාර්ගයකින් අවුරුද්දකට ලබන බිලියන 5ක ලාභයෙන් ගෙවීමට නොහැකි බවත් ය.
“පසුගිය දවස්වල පට්ටපල් බොරුවක් ප්‍රචාරණයක් කළා සහස්යා අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට වික්කා කියලා. ඊයේ අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා මහා භාණ්ඩාගාරය සමග මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තියෙන අධිවේගී මාර්ගයේ සියලු වත්කම් දේපළ 100%ක් රජය සතුයි. සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගමට පවරා දීලා තියෙනවා.
කුමක් සඳහා ද? මහජනයට මහජනයාගේ බදු මුදලින් අධිවේගී මාර්ගවල ණය ගෙවන්න බෑ. අධිවේගී මාර්ග තනන්න දැනට අරන් තියෙන ණය ප්‍රමාණය බිලියන 800ක්. අධිවේගී මාර්ගයකින් අවුරුද්දකට ලාභ ලැබෙන්නේ බිලියන 5යි. 5 ගාණේ ම දිගටම ලාභ ලැබුවත් අපි මේ වගේ පොළියත් එක්ක ගෙවන කොට අවුරුදු 160ක් ගෙව්වත් අධිවේගී මාර්ග හදපු එකේ ණය ගෙවන්න බෑ. දැන් අපි අවුරුදු 80ක් ජීවත්වෙලා මිය ගිහිල්ලා ආයෙත් ආර්ඒඩී එකට ඇවිල්ලා තවත් සැරයක් මැරුණත් අර ණය ටික ගෙවලා ඉවර වෙන්නේ නෑ.”