අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙන යාම අපි කරන පරිත්‍යාගයක්! – අධිකරණ ඇමැති

December 8, 2020 at 8:14 am | by emanisa.lk

අධිකරණ අමාත්‍යංශය දැනට පවතින ස්ථානය ඉතා ම හොඳ බවත් ඉඩකඩ ඇතුළු සියලු පහසුකම් එම පරිශ්‍රයෙහි ඇති බවත් අධිකරණ ඇමැති අලි සබ්‍රි පවසයි.

එහෙත් 20 වන සංශෝධනයට පසු ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 06 දෙනෙකු ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් 08 දෙනෙකු ද පත්කර නඩු ඇසීම වේගවත් කිරීමට සැලසුම් කර ඇති නිසා තම අමාත්‍යංශ පරිශ්‍රය ද ඒ සඳහා ලබා දීමට සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ඒ අලුතින් නඩු ඇසීමට අලුතින් උසාවි සහ විනිසුරුවරුන් සඳහා නිල නිවාස ආදිය ලබා දීමට සිදුව ඇති නිසාත් සියලු උසාවි එක ම පරිශ්‍රයක තබා ගැනීම වැදගත් නිසා බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

මේ නිසා අධිකරණ සේවා කොමිසමේ ඉල්ලීම පිට අමාත්‍යංශය ඉවත් කරගෙන එම ගොඩනැඟිලි ද අධිකරණයට ලබා දෙන බවත් එය පරිත්‍යාගයක් බවත් පෙන්වා දුන් ඇමැතිවරයා මෙම ගැටළු යෝජිත අධිකරණ පියස ගොඩනැඟූ පසු කෙළවර වන බව ද සඳහන් කළේ ය.

එතෙක් තම අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සිදුව ඇති බවත් එයට විවිධ අර්ථකථන ලබා දුන්න ද තම පාර්ශ්වය මගින් සිදුකරන්නේ පරිත්‍යාගයක් බවත් අධිකරණ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

විශාල මුදලක් වැයකර අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම පිළිබඳ මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *