අංගොඩ ලොක්ක පූජා කළ පවුම් 38ක රන්තැටියක් අතුරුදන්..! කතරගම ලොකු කපුවා සහ කපු මුනුබුරා අත්අඩංගුවට…!

December 8, 2023 at 10:21 am | by emanisa.lk

රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාවය.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .ජේ. නිශාන්ත යටතේ විමර්ශන ඇරඹී තිබිණි.

එහිදී කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා ප්‍රකාශ මගින් ලබාදී ඇත්තේ තම පුතාගේ අපලයන් දුරුවන්නට පුතුගේ නම කෙටූ රත්‍රන් තැටියක් කතරගම දේවාලයට පූජා කළ බවය.

දරුවාගේ වයසට සරිලන පවුම් පහක් පූජා කිරීමට ගියද පසුව දේවාලයේ කපු මහතුන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් තිස්අටක් බරැති රත්රන් යොදා තැටිය හැදු බවද හෙළි වී ඇත.

කතරගම හෝටලයක අරක්කැමියකු වූ සුජිත් ප්‍රසන්න නමැත්තාට අංගොඩ ලොක්කා ඉමෝ තාක්ෂණයෙන් කතා කර රත්‍රන් තැටිය සාදා දීමට කටයුතු සලසා දෙන්නැයි කී බවත් ඒ අනුව කඩුවෙලට ගිය පසු අං ගොඩ ලොක්කාගේ ගෝලයන් ගෙනවිත් දුන් රත්‍රං බිස්කට් කතරගම රන් බඩු සාදන අයෙකුගෙන් උණුකර තැටිය සකස් කර දුන් බවත් හෙළි වී ඇත.

ඒ අනුව 2019 ජූලි 3දා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ දරුවා රැගෙන ගොස් පූජා කළ බවත් එහි පූජාව කළේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක බවත් හෙළි වී තිබේ. කතරගම මහා දේවාලයේ කපු මහතුන් 15 දෙනෙකු සේවය කරන බවත්, සෑම මාසයකම මාසය භාර කපු මහතා ලෙස නම්කරන අය එම මාසයේ පූජා කරන මුදල් හා දේපළ ලබාගෙන ඇති බවත් හෙළි වී ඇත. බැතිමතුන් පූජා කරන වටිනා භාණ්ඩ දේවාල මාලිගාවේ ගබඩා කර තැබිය යුතු අතර එයට ඇතුළු වීමට අවසර ඇත්තේ කපු මහතුන් 15 දෙනාට සහ බස්නායක නිලමේවරයාට පමණි.

අංගොඩ ලොක්කාගේ බිරිඳ පැමිණ රන් තැටිය පූජා කරන මාසයේ තේවාව භාරව සිට ඇත්තේ ප්‍රධාන කපු මහතා බවත්, ගබඩාව භාර කපු ධුරන්දර සමන් ප්‍රියන්ත විසින් එය පූජා කර සති දෙකකට පසු සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතාගේ කාමරයට එම රන් තැටිය ගෙනගොස් තැබූ බවත් ප්‍රකාශ ලබාදීමේදී හෙළිකර ඇත.

මෙය අතුරුදන් බව බස්නායක නිලමේවරයාට ලද නිර්ණාමික ඇමතුමකින් පසු කරන ලද පැමිණිල්ලෙන් පසුව කපු මහතුන් ගෙන්වා තොරතුරු විමසා ඇත.

මෙම රත්‍රං තැටිය පූජා කර දවස් තුනක් එය දේවාලයේ තැබූ පසු අංගොඩ ලොක්කාගේ බිරිඳ එය නැවත රැගෙන ගිය බවට බස්නායක නිලමේට බොරුවක් කියන ලෙසට ප්‍රධාන කපුමහතා තමාට දැන් වූ බව මෙය පූජා කිරීමට මැදිහත් වූ අරක්කැමියා විමර්ශනවලදී පවසා ඇත.

මෙම සිද්ධියෙන් කපු මහතුන්ට අපකීර්තියක් වන නිසා රත්‍රං බන්දේසියක් නැවත සාදා දේවාලයේ තැන්පත් කිරීමට කටයුතු කළ බව ප්‍රධාන කපුරාල හා ගබඩාව භාර කපුරාලගේ ප්‍රකාශවලින් හෙළි වී තිබේ. ඒ අනුව පූජා කරන ලද රන්තැටිය ලෙස හඟවා 2021 ඔක්තෝබර් 26 දින නැවත දේවාලයට රන් තැටියක් භාරදී ඇති බවත් හෙළි වී ඇත.

සොමිපාල කපු මහතා හෙවත් සිය මුත්තා බේරාගැනීමට කලින් රන්තැටිය නිර්මාණය කළ කතරගම මාලන් නමැති අයට රුපියල් ලක්ෂ 41ක් දී නැවත රත්‍රං තැටියක් සාදාගත් බවත් එය මුලින් සාදා රැගෙන ගොස් මුත්තාගේ උපදෙස් මත දේවාලයට නැවත තැටිය ගෙනවිත් දුන් බවත් සමන් ප්‍රියන්ත හෙවත් චූටි කපු මහතා විමර්ශනවලදී හෙළිකර තිබේ. අතුරුදන් කළ තැටියේ අනුරුව නිර්මාණය කර නැවත දේවාලයේ තැන්පත් කර ඇත්තේ පොලිස් විමර්ශන යන අතරතුරේදීය.

මේ සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය බී 73047/2021 යටතේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව නීතිපති උපදෙස් ඊයේ (7) වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *