හිටපු නි. ඇමැතිගේ හොර ජීප් රථයක් අත්අඩංගුවට…!

October 31, 2022 at 6:24 am | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (30) සිය භාරයට ගනු ලැබීය.

ඒ, එම රථය නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා ඇතැයි සහ ලියාපදිංචි සහතික නොමැති බවට වන චෝදනාවකට අදාළවය.

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන විත් නීතිවිරෝධි ලෙස එකලස් කළ සහ ලියාපදිංචි නොකළ බවට තොරතුරු වාර්තා වූ Isuzu Bighorn වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් ලුහුබැඳ ගොස්  තිබුණි.

එම නිලධාරීන් ජීප් රථය ගාල්ල නගරයේදී නවතා පරීක්ෂාවට ලක්කර තිබුණි.

එම ජීප් රථය එම අවස්ථාවේ පදවනු ලැබ ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවටත් එහිදී හෙළිවී තිබේ.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ වර්තමානයේ ඔහු ගාල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අතර මීට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ බවය.

ජීප් රථයේ හිමිකරු කවරෙක්දැයි වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් එහිදී විමසා ඇති අතර එම ජීප් රථය හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අයත් බව පොලිස් නිලධාරියා පවසා තිබේ.

සිදුකළ වැඩිදුර සෝදිසියේදී හෙළිවී ඇත්තේ එම ජීප් රථය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධිව තීරු බදු රහිතව මෙරටට ගෙන්වා එකලස් කරන ලද්දක් බවය.

එම රථය මෙරට තුළ ලියාපදිංචි කළ සහතික හෝ නොමැති බවත් අනාවරණය වී තිබේ.

ජීප් රථය නවීන පන්නයේ එකක් වුවත් එහි අංක තහඩුවේ 64 – 4115 දරන අංකය සඳහන් වීම තුළ විමර්ශකයින්ට ඒ සම්බන්ධයෙන්ද සැක මතු වී තිබේ.

ඒ අනුව, අංක තහඩුව සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදි එය වෙනත් මෝටර් රථයකට අංකයක් බවත් විමර්ශකයින් විසින් හෙළිකර ගැනුණි.

ජීප් රථය සම්බන්ධයෙන් සහ එය පැදවූ පොලිස් කොස්තාපල්වරයා සේවයේ රැඳීසිටියදීම මේ අයුරින් රියදුරෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් පවසයි.

මේ පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතතාගෙන් විමසීමට අප උත්සාහ කළත් ඔහුගේ දුරකථනය එම අවස්ථාවේ ක්‍රියා විරහිතව තිබුණි.

Adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස