හම්බන්තොට නැව් නොඑන වරායේ භාණ්ඩ මෙහෙයුම් 338.9%කින් ඉහළට…! කොවිඩ් මැද සමාගමේ ලාභය 204.7%කින් වැඩ වෙයි….! රන් බිජු ලෑ කිකිළිය විකුණං කෑ ලංකාවටත් ලාභාංශ සොච්චමක්…!

September 7, 2021 at 11:58 am | by emanisa.lk

හම්බන්තොට වරාය සහ කොළඹ වරායේ සී.අයි.සී.ටී ජැටිය පාලනය කරන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් (CMPH) සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 1.05 ක (කෝටි 105 ක) ලාභාංශ වෙන්කර ඇති බව හෙලනික් ෂිපිං නිව්ස් (Hellenic Shipping News) නම් ප්‍රකට නාවික පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වාර්තාවට අනුව චයිනා මර්චන්ට් පෝර්ට් ආයතනය පසුගිය සතියේ සිය ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සමාගමේ මෙම වසරේ පළමු භාගයේ ලාභය පසුගිය වසරේ වාර්තා කළ හොංකොං ඩොලර් බිලියන 1.54 සිට හොංකොං ඩොලර් බිලියන 4.71 (රු. බි. 120.61) දක්වා සියයට 204.7 කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත වෙන්කර ඇති ලාභාංශ ගෙවන දිනයක් CMPH සමාගම මෙතෙක් නිවේදනය කර නැත.

ගෝලීය ‘බහලුම් සහ භාණ්ඩ නැව්ගත කිරීමේ පිරිවැය’ අඛණ්ඩව ඉහළ යමින් පවතින අවස්ථාව CMPH සමාගම 2021 ජුනි 30 න් අවසන් වන මෙම වසරේ පළමු මාස 06 දී මෙම විශාල ලාභය ලබා තිබීම විශේෂත්වයකි.

CMPH සමාගම ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට අදාළ කාලයේ කොළඹ වරායේ CICT ජැටිය හරහා කන්ටේනර් ලක්ෂ 15 ක මෙහෙයුම් සිදුකර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 8.7 ක වර්ධනයකි.

එසේම 2021 මුල් භාගයේදී සමාගම හම්බන්තොට වරාය විසින් තොග භාණ්ඩ මෙහෙයුම් සිදුකර ඇති ප්‍රමාණය අවසන් වසරට සාපේක්ෂව සියයට 338.9කින් ඉහළ යෑමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස