සීනි හොරාගෙයි බැංකු හොරාගෙයි රූකඩ ආණ්ඩුවට අපේ සහාය නෑ…! – විජිත….

May 18, 2022 at 7:56 pm | by emanisa.lk

සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීම ගැන සොයා බැලීමට වුවමනාවක් නැති අගමැති රනිල් මූනිච්ඡාවට තරුණයන් රවට්ටන්න බොනපාට්වාදී තියරිය පාවිච්චි කරමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් පවසයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තවමත් ජනතාවට සහන සලසන්න හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා කිසිම යෝජනාවක් හෝ වැඩපිළිවෙළක් රටට කියලා නොමැති බවද විජිත හේරත් පෙන්වා දෙයි.

“සීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල කතාබහකින්වත් පැමිණි එකඟතාවක් නොවෙයි. හොර රහසේ මාලිගා කුමන්ත්‍රණවලින් හදාගත් ආණ්ඩුවක් මේක. කැබිනට් ඇමැතිවරුන් හොයමින් මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රිවරු ඇමැතිකම් ගන්න සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

අනෙක් කණ්ඩායම් අතරත් විවිධ වුවමනාවන්, වරදාන වරප්‍රසාද ගැන හිතන අය ඉන්නවා. පටු පෞද්ගලික වුවමනා වෙනුවෙන් ක්‍රියා කරන අය ඉදිරියේදී තවත් දකින්න පුළුවන් වෙයි. මේ රූකඩ පාලනයට ජනතාවගේ අනුමැතියක් නැහැ. ජාතික ජන බලවේගය ඊට කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ. අද වනවිට ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට උත්තර සපයන කෙටි කාලීන වැඩපිළිවෙළක්වත් ඉදිරිපත් කර තිබුණා නම්, ජනතාව සලකා බලන බව අපිට පැහැදිලියි.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන ඒම පිළිබඳවත් කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ.ගෝඨාගෝගමට පහසුකම් දෙන්න රනිල් කමිටු පත්කරනවා. නමුත් සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බලන්න කමිටු පත්කර නැහැ. මූනිච්ඡාවට තරුණයන්ව රවට්ටන්න බොනපාට්වාදී තියරිය පාවිච්චි කර තිබෙනවා.

ඔහුට පළමුවෙන්ම කරන්න තිබුණු ක්‍රියාමාර්ගය අත්හැරීමෙන් ඔහුගේ භාවිතාව ගැන පැහැදිලියි. සාගල රත්නායක, අකිල විරාජ්, රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන අයගෙන් කමිටු හදලා දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න විසඳන්න යනවා. මේ විකාරරූපී පාලනය කොයි වගේද කියලා ඒකෙන්මද පැහැදිලියි. ජාතික ජන බලවේගය ඒ කිසිම දෙයකට සහයෝගය දෙන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස