සීනි බදු වංචාකරුවන්ට වැඩ වරදී..! ගසා කෑ බදු නැවත ගෙවන්න වෙයි..!

November 9, 2022 at 3:21 pm | by emanisa.lk

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අදාළ සීනි බදු අඩු කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව කියා සිටියේ ය.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට පවතින නීතිය යටතේ එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අයකර ගැනීමේ හැකියාව ඇති බවය.

2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමිණි.

එහෙත් අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබානොදී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැපකළ ආදායම රුපියල් කෝටි 1776ක් ලෙස ගණන් බලා ඇත.

එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනාගෙන ඇති අතර ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45% ක් ආනයනය කර තිබේ. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණ අදාළ සමාගමේ සීනි ආනයනය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පවසයි.

පවතින නීති තත්ත්වයන් යටතේ අයකර ගතහැකි මෙම මුදල අයකර ගැනීමට සහාය දක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වයන්ගෙන් අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේ දී මෙවැනි හදිසි බදු අඩු කිරීම් පිළිබඳ තීරණ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමකින් තොරව සිදු නොකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස