සජිත් අනුර ජනතාව අන්දලා බලය ගන්න හදනවා…! – රෝහිත….

February 20, 2023 at 7:50 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මේ රටේ ජනතාව මූළාවට පත්කොට බලය ගැනීමේ උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කරයි.

“අපට පේනවා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවේ යටිගිරියෙන් කෑගහනවා. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කෑ ගහනවා. මේ හැම එකකම කියනවා, ඔවුන් ආ ගමන්ම හොරු අල්ලනවා කියලා.

මේ නායකයන් දෙන්නටම මතක් කර දෙනවා මේ ටික. 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා යහපාලන ආණ්ඩුවක් හැදුවා. ඒ යහපාලන ආණ්ඩුවේ එදා මාතෘකාව වුණෙත් හොරු අල්ලනවා, හොරු හිරේ දානවා, හොරකම් කරපුවා නැවත ගන්නවා කියලා තමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වගේම අනුර කුමාර දිසානායක තමයි ඒ හොරු අල්ලන්න දාපු කමිටුව භාරව හිටියේ.

මේ සියලු දෙනා එදත් විවිධ දේ කිය කිය රට වටේ කෑ ගැහුවා. අපට පුළුවන් නම් පෙන්වන්න අල්ලපු එක හොරෙක්. නැවත වතාවක් ජනතාවගේ ඔලුවට බොරු වපුරලා ජනතාව මූලා කර මේ අය බලයට පත්වෙන්න උත්සාහයක යෙදෙන්නේ. ජනතාවට මේ අවස්ථාවේ ජීවත්වීමට අමාරුයි. විදුලිබිල, ඉන්ධන සහ භාණ්ඩ මිල වැඩි වෙලා.

ඒ නිසා සජිත්ගෙන් සහ අනුරගෙන් අපි අහනවා, මේ මැතිවරණයක් තිබෙන අවස්ථාවක කියන්න ඔබලා ආ ගමන් තෙල්, විදුලිබිල අඩු කරන්නේ කොහොමද කියලා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන ක්‍රමය කියන්න. ඒ වගේම මුකුත් රැකියාවක් නොකර ජීවත්වෙන විදිහ කියලා දෙන්න. මේ කාරණා ටික හරියට ජනතාවට කිව්වොත් අපටත් ඒක පැහැදිලි වුණොත් අපටත් පුළුවන් ඒ නායකයන් යන ගමන හොඳයි කියලා කියන්න. හැබැයි ඒක පැහැදිලි කරලම කියන්න. එහෙම නැතිව පරණ තැටිම ගායනා කර මේ විදිහට ජනතාව අන්දන්න ලෑස්ති වෙන්න එපා.”

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *