ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මැතිසබයට සිංහල බසින් ද ලබා දෙන්න…! එසේ නොකිරීම ව්‍යවස්ථා විරෝධියි… මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනයක්…! – ගෙවිඳු…

August 17, 2021 at 1:34 pm | by emanisa.lk

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ පාර්ලිමේන්තුවට සිංහල භාෂාවෙන් ද ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග කතානායකවරයාගෙන් අද (17) ඉල්ලීමක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණ මැතිසබයට ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් එම තීරණ මව භාෂාවෙන් ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම එලෙස කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වීමක් යැයි ද ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ ය.

අධිකරණ ඇමතිතුමා ඒ සඳහා මැදිහත් නොවන්නේ නම් නිලධාරීන් මාර්ගයෙන් සිංහල පිටපතක් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු කතානායකවරයාගෙන් ද ඉල්ලා සිටියේ ය.

විසිවෙනි සංශෝධනය සහ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ද ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ ය.

එහි දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේ තමන් ඉදිරිපත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් පිටපත බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අහන්නේ ද ඉංග්‍රීසි භාෂාවෙන් බවත් ය. එම ඉල්ලීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව ද අලි සබ්රි පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස